ගොවි පවුල් පසුබිමක් සහිත නායකයින් සමඟ රට ගොඩ නගනවා – කෘෂි ඇමති

Share Button

ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවේ  කෘෂිකර්මාන්තයේ සීග්‍ර සංවර්ධනයක් සිදුවන බව කිසිදු සැකයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම  අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක “අපි වවළයි- අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ ක්‍රියාත්මක “කොස් පැළ දසලක්ෂයක්” රෝපණය කිරීමේ ජාතික උත්සවයට එක්වෙමිනි.

එකම දිනයක එකම වේලාවට දිවයින පුරා කොස් පැළ ලක්ෂ පහක් සිටුවීමේ වැඩ සටහන දිවයිනේ සියලුම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන ආශ්‍රීතව ක්‍රියාත්මක  කළ අතර, එහි ජාතික උත්සවය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ඊයේ (09)  පැවැත්විනි.

එහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා .

“ගොවිතැන හා ගොවිකම මෙන්ම රටේ ගොවි ජනතාවගේ සිතුම් පැතුම් ප්‍රායෝගිකවම හඳුනන නායකයින් දෙදෙනෙක් අද අපේ රටේ ඉන්නවා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාත් දෙන්නාම ගොවි පවුල් පසුබිමක් සහිත නායකයින් දෙදෙනෙක්. ඒ නිසා ඉදිරි කාලය තුළ මේ රටේ කෘෂිකර්මාන්තයේ සීග්‍ර සංවර්ධනයක් සිදුවන බව කිසිදු සැකයක් නැහැ“

මෙවර මහ කන්නය මේ වනවිට අපේ රටේ සියලුම වැව් හා ජලාශ අමුණු කිහිප වරක් වාන් දමා පිරී ඉතිරී ගොස් තිබෙනවා. අවුරුදු තුනකට පස්සේ සාර්ථකම මාස් කන්නය මේ  වසරේ උදාවේ යැයි මම හිතනවා. කාලගුණයෙන් බරපතල හානියක් නොවුනොත් මෙවර මාස් කන්නයේ දී විශාල අස්වැන්නක් ලැබේවායි මම රටට සුබ පතනවා. අපේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදන ද්‍රව්‍ය සඳහා අපනයන අංශයේ ඉහළ ඉල්ලුමක් ඉළක්ක කරගනිමින් දැන් අපි කටයුතු කරගෙන යනවා. ඒ අනුව තමයි දැන් අපි අපි මේ වසර තුළ අපනයන වගා කළාප ගණනාවක් ස්ථාපිත කළා. මාතලේ අක්කර 200ක අඹ වගා කළාපය, මඩකලපුවේ අක්කර 500ක සළාද පිපිඤ්ඤා වගා කළාපයක්, මුලතිව් අක්කර 200ක රටකජු වගා කළාපයක්, වව්නියාවේ අක්කර 16,000ක උඳු වගා කළාපයක්, යාපනේ මිරිස්, අඹ හා මිදි වගා කළාපයක් හා අගුනකොළ පැළැස්ස අක්කර 200 අඹ වගා කළාපයක් හා පොලොන්නරුවේ අක්කර 30 ක පැපොල් වගා කළාපයක්, මොණරාගල අක්කර 37ක පැෂන් පෘට් හා අක්කර 37ක අන්නාසි වගා කළාපයක් වශයෙන් අපි ආරම්භ කළා.“

නියඟය වැනි කාලගුණ හේතුන් මත රටේ දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකර්ම අංශයේ දායකත්වය 2017 වසරේදී සියයට 7.7 දක්වා  පහත වැටුණු බව පේනවා දුන් අමාත්‍යවරයා . මෙම තත්ත්වය ජයගැනීම තමන් පැවරී ඇති අභියෝගයක් බව ද පැවසීය.ඒ සඳහා මේ වනවිට අපනයනය ඉළක්ක කර ගත් වගා කළාප ගණනාවක් රටපුරා ආරම්භ කර ඇති බව ද ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට  ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතලපහසුකම් අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල, බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර  හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව යන මහත්වරු ද සහභාගි වුහ.

මෙහිදී අමාත්‍ය  මහින්ද අමරවීර මහතා අතින් සුබ මොහොතින් එම පරිශ්‍ර යේදී කොස්පැළ රෝපණය කළ අතර එම දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල වෙත කොස් හා වෙනත් පලතුරු පැළ වර්ග කට්ටලයක් බැගින් බෙදා දෙනු ලැබීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *