2019 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී ජාතික ගුවන් විදුලියට සම්මාන රැසක්

Share Button

2019 රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙලේදී සම්මාන රැසක් හිමිකර ගැනීමට ජාතික ගුවන් විදුලිය සමත් වෙයි.

ජාතික ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන නන්දා ජයමාන්න සහ නිහාල් භාරතී , අරුන්දතී ශ්‍රී රෙන්ගනාදන් යන මහත්ම මහත්මීහු ‘ප්‍රතිභා ප්‍රාණාම’ සම්මානයෙන් පිදුම් ලදහ.

ප්‍රශස්තම ප්‍රවෘත්ති ප්‍රකාශක වශයෙන් ඥාණින්ද්‍ර පෙරේරා සම්මානයට පාත්‍රවු අතර චිත්‍රා කුමාරි පත්තප්පෙරුම ප්‍රශස්ත ප්‍රවෘත්ති ප්‍රකාශිකාව වුවාය.

ප්‍රශස්ත නිවේදිකාව වශයෙන් සම්මානයට පාත්‍ර වුයේ ජාතික ගුවන් විදුලියේ රම්‍යා ශ්‍රියාණි පතිරණයි. ප්‍රශස්ත ඉංග්‍රිසි සංස්කාරක වශයෙන් ජෙයරන්ජන් යෝගරාජා සම්මානයට පාත්‍ර විය.

ප්‍රශස්ත ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදක වශයෙන් වජිර ඉන්දික කරුණාසේන සම්මාන ලැබීය.

ප්‍රශස්ත පුර්ව ප්‍රචාරක පට නිර්මාණය වෙනුවෙන් හිමානන්ද රාජපක්ෂ ද , ප්‍රශස්ත සාකච්ඡාමය වැඩසටහන වෙනුවෙන් සම්පත් සල්පිටිකෝරාල ද සම්මානයට පාත්‍ර වුහ.

ප්‍රශස්තම නාද සංකලනය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය ජාතික ගුවන්විදුලියේ මලින්ත දේශප්‍රියට හිමිවිය.

රජරට සේවයේ ප්‍රසන්න දිසානායක ප්‍රශස්ත කථක සම්මානයෙන් පිදුම් ලැබුවේය.

ප්‍රශස්ත ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන වෙනුවෙන් සම්මානයට පාත්‍ර වුයේ ඌව ප්‍රජා ගුවන් විදුලියේ අජිත් වසන්ත ඈපායි. රජරට සේවයේ ලිලී වඩුගේ ප්‍රශස්ත සගරාමය වැඩසටහන වෙනුවෙන් සම්මාන ලැබුවාය.

‘නුඹ නාඩන් කුඹිච්චෝ’ නාට්‍ය නිෂ්පාදනය කළ කඳුරට සේවයේ ජයන්ත විමලසිරි බණ්ඩාර ප්‍රශස්ත ළමා නාට්‍ය රචනය සහ ළමා නාට්‍ය නිෂ්පාදක වෙනුවෙන් සම්මාන හිමි කර ගත්තේය. ප්‍රශස්ත ළමා නාට්‍ය ශිල්පියා වුයේ කඳුරට සේවයේ කසුන් තක්සර දීපාල් වසන්ත කුමාරයි.

නාට්‍ය ශිල්පිනිය වශයෙන් කඳුරට සේවයේ හිමරන්සි සඳමිණි සම්මානය හිමි කර ගත්තාය. රජරට සේවයේ මාලක දේවප්‍රිය, ප්‍රශස්ත නාට්‍ය රචක සම්මානයෙන් පිදුම් ලැබු අතර ප්‍රශස්ත නාට්‍ය හඩ කැවීමේ ශිල්පියා ලෙස විජේරත්න වරකාගොඩ සම්මානයට පාත්‍ර විය. ප්‍රශස්ත නාට්‍ය ශිල්පියා වුයේ විහග සචින්ත විදානපතිරණයි.

සම්මාන උළෙල අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙඵම්පොකුණ රගහලේදී ඊයේ (12) පස්වරුවේ පැවැත්විණි.

ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාව ,  ශ්‍රී ලංකා කලා මණ්ඩලය , සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය එක්ව උත්සවය සංවිධාන කර ඇත.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *