බුදු දහම, හිට්ලර් එකට පෑහෙන්නේ කොහොමද?

Share Button

 

හිට්ලර් හා බුදු දහම අතර ඇති සබඳතාවය කුමක්ද යන්න තමාට අවබෝධ කර ගත නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගිය 23 වන දා මාතර – මහාමන්තින්ද පිරිවෙනට වසර 125 ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේ දී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

“ අපිට බුදු රජාණන්වහන්සේ කිසි විටෙකත් හිට්ලර් කෙනෙක් වෙන්න කිව්වේ නැහැ. ඒක අමාරුයි. ජර්මනියෙත් බුදු දහම ගෙනියන විවිධ සමිති සමාගම් තිබුණා හිට්ලර් ඇවිත් ඒව විසුරුවා හැරල හිරකූඩුවල දැම්ම. ඊට පස්සේ ඒ අය ගැන කිසිම තොරතුරක් නැහැ. මම දන්නේ නැහැ අපි කොහොම බුදු දහමයි , කොහොමද එකට එකතු කරගෙන යන්නෙ කියල.”

විවිධ දේශපාලන අදහස් තිබීම ප්‍රශ්නයක් නොවන නමුදු ඉඩි අමීන් කෙනෙකු, පොල්පොට් කෙනෙකු, හිට්ලර් කෙනෙකු වන ලෙස ප්‍රකාශ කළ නොහැකි බවද  අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තමන් ඉදිරියේ එවැනි ප්‍රකාශයක් සිදු කළේ නම් එය හෙළා දකින බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා තමන් ඉදිරියේ එවැනි ප්‍රකාශයක් සිදු කළේ නම් ජන මාධ්‍ය ද තමන් හඹා එන බව ප්‍රකාශ කළේය. එහෙත් මේ සම්බන්ධව ජන මාධ්‍ය අඩු අවධානයක් යොමු කර ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා “ මම අහන්නෙ දැන් ඔහොම නම් හිට්ලර් කෙනෙක්  ආවොත් මොකද වෙන්නේ” යනුවෙන් ද විමසා සිටියේය.

මේ අතර එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දින සැමරුම් උත්සවයේ දී අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය වෙඩරුවේ උපාලි නායක හිමියන් සිදු කළ පුකාශය තරයේ හෙළා දකින බවයි.

උපාලි හිමියන් සඳහන් කරන ආකාරයේ මිලිටරි ආණ්ඩුවකට තමන් සම්පුර්ණයෙන්ම විරුද්ධ බව මන්ත්‍රීවරයා පවසයි. යම් හෙයකින් එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ජීවිත පරදුවට තබා සටන් කරන බව ද මන්ත්‍රීවරයා පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *