ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට පැමිණෙන සංඛ්‍යාවේ විශාල වර්ධනයක්

Share Button

ජාතික හැඳුනුම්පත් ලබා ගැනිම සදහා පැමිණෙන සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා කියයි. බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ පවත්වාගෙන යන එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට දෛනිකව අයදුම්පත් දෙදහසකට අධික සංඛ්‍යාවක් ලැබෙයි. එම සේවාව යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීම සදහා අමතර කාර්ය මණ්ඩලයක් යොදවා ඇතැයි ද ගුණතිලක මහතා පවසයි. එක්දින සේවාවේ රාජකාරි කටයුතු පෙරවරු 7.30 ට ඇරඹේ. අයදුම්පත් භාර ගැනීම සදහා අංක නිකුත් කෙරෙන්නේ මධ්‍යාහ්න 12.00 දක්වා පමණි. එක්දින සේවාව යටතේ හැඳුනුම්පත් ලබා ගැනීමට අයදුම්කරු පැමිණීම අනිවාර්යය බව කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි. එක්දින සේවාව ඔස්සේ හැඳුනුම්පත් නිකුත් කිරීමට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ශාඛා කාර්යාල 331 ක් මගින් සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි. පාසල් අයදුම්කරුවන් විදුහල්පති හෝ පරිවේණාධිපති ස්වාමින් වහන්සේ නමකගෙන් ද වතුකරයේ ජනතාව වතු අධිකාරිවරයා මගින් ද අයදුම්පත් යොමු කළ යුතුය. සෙසු සියලු අයදුම්කරුවන් ග්‍රාම නිලධාරිවරයා හරහා ප්‍රාදේශීය ලේකම්වරයා මගින් අයදුම්පත් යොමු කිරීම අවශ්‍යය. සියලු ලේඛන නිවැරදිව හා අඩුපාඩුවකින් තොරව ඉදිරිපත් කරන්නේ නම් කඩිනමින් ජාතික හැඳුනුම්පත් ලබා ගත හැකි බව වියානි ගුණතිලක මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *