රට ගොඩනැගීමට ජාතික සමගිය ආරක්ෂා කර ගත යුතු බව පාර්ලිමේන්තුවේ දී අවධාරණය කෙරේ

Share Button

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට පෙර අයි එස් ත්‍රස්තවාදය ගැන පාර්ලිමේන්තුවේ හෝ රටේ සංවාදයක් නොතිබු බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. පසුගිය වසර 10 තුළ රටේ සාමකාමී පරිසරයක් පැවති අතර මෙම ප්‍රහාරය බලාපොරොත්තු නොවුවක් බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. අද ඉදිරිපත් කළ විශ්වාසභංගය අගමැතිතුමා හා ආණ්ඩුවට මඩ ප්‍රහාර එල්ල කිරීමට ඉදිරිපත් කරන්නකි. සහරාන් නමැති ත්‍රස්තවාදියාට පසුගිය රජය සමයේදී මුදල් ලබාදී තිබේ. එම නිසා හිටපු ආරක්ෂක ලේකම් . ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවිය යුතුය. ප්‍රහාර සිදුවී පැය 24 ක් තුළ තත්ත්වය පාලනය කර ඉන්පසු වින්දිත පාර්ශ්වයන්ට වන්දි ගෙවීමට රජය කටයුතු කළේය. රට ගොඩනැගීමට නම් ජාතික සමගිය ආරක්ෂා කර ගත යුතු බව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන එමින් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ පාස්කු දින එල්ල වු ත්‍රස්ත ප්‍රහාර වලක්වා ගැනීමට ආණ්ඩුව අසමත් වු බවයි. ඉන් අනතුරුව සිදුවු ඇතැම් සිදුවීම් පාලනයට ද ආණ්ඩුව නිසි පරිදි ක්‍රියා නොකළේය. මේ නිසා ජන ජීවිතය ද බිඳවැටුනු බව මන්ත්‍රීවරයා පැවසීය.
ප්‍රහාරය සම්බන්ධයෙන් රජය දැන සිටි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා නගන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීවේය. එසේ දැන සිටියා නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඔහු පැවසීය. මහජනතාවට සාධාරණය ඉටු කළ හැක්කේ විශ්වාසභංගයට අදාල විවාදය මහත්මා මට්ටමින් පැවැත්වීමෙනි. ඇතැමුන් ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ජාතිවාදය පැතිරවීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

ත්‍රස්ත ප්‍රහාර පිටුපස සිටින පාර්ශ්ව පිළිබඳව කඩිනමින් සොයා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්යන්ත මහතා පැවසිය. එය රජයේ වගකීමක් බවද හෙතෙම පෙන්වා දුන්නේය. මුස්ලිම් ජාතිීන්ට ත්‍රස්ත ප්‍රහාරයේ අවමානය විඳීමට සිදුව ඇති බව ෆයිසාල් කාසිම් මන්ත්‍රීවරයා විවාදයට එක් වෙමින් පැවසීය. කිසිදු විටෙක මෙවැනි ප්‍රහාරයක් අපේක්ෂා නොකළ බවද ඔහු කීවේය. තම වගකීම් නිසි ලෙස ඉටු කිරිමට රජය ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදිය යුතු බවද ඔහු කීවේය.
විවාදයට එක්වු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පැවසුවේ කදුකරයේ ජනතාව වඩාත් පිළිගන්නේ එක්සත් ජාතික පක්ෂ රජයක් බවයි. කදුකරයේ ජනතාවට වැඩි අවස්ථා සලසමින් වේගවත් සංවර්ධනයක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයන් ක්‍රියා කළ බවද ඔහු කීවේය. ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදීන් කෙටි කාලයක් තුල අත්අඩංගුවට ගනිමින් මෙරට ආරක්ෂක අංශ සමස්ත ලෝකයටම ආදර්ශයක් ලබාදුන් බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය. 1971 . 1988 සහ 1989 කාලවල ජනතා විමුක්ති පෙරමුණ ද පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි සිද්ධිවලට වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා කීවේය. ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ විමර්ශන විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විවාදයට එක් වෙමින් පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *