විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් – ඇමති අකිල විරාජ්

Share Button

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව මගින් ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් වන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දෙවන දිනයට අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්ථාවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. ජාතික ආරක්ෂාව යථා තත්ත්වයට පත් කරමින් ජාතීන් අතර සමගිය ඇති කිරිමට රජය ක්‍රියා කර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂයට පවා විශ්වාසයක් නැතැයි විවාදයට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා සදහන් කළේය. ප්‍රහාරයෙන් අවතැන් වු හා විපතට පත්වු පුද්ගලයින් සදහා රජය සහන දිමට ක්‍රියා කළ බව ඔහු පෙන්වා දුන්නේය.
විවාදයේ දී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංග යෝජනාව ගෙන ආ බවට ජනතාව විශ්වාස කරන බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය අන්තවාදය නිසා සිදුවුවක් බව පසෙකලා විපක්ෂය ඊට දේශපාලන මුහුණුවරක් ලබා දෙමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා විවාදයේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවට හෝ ජනතාවට සගවා කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව ඔහු අවධාරණය කළේය.
සහරාන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවලින් පසු ඇතැම් ජනමාධ්‍ය ජාතිවාදය වැපිරිමට ක්‍රියා කළ බව අමීර් අලි මන්ත්‍රීවරයා පැවසීය.
යහපාලන ආණ්ඩුව බලයට ආ පසු ගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලට ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමිවු බව විවාදයට එක් වෙමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඕනෑම මැතිවරණයකට විපක්ෂය සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා සදහන් කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන දඩුවම් දියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා විවාදයට එක් වෙමින් පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *