බදු ගෙවන්නේ මෙහෙමයි

Share Button

පැරණි ජනවහර අනුව බදු අය කිරීමේ දී ‘මල නොතලා රොන් ගන්න යැයි ‘ පැවසීම තුළින් පැහැදිලි කෙරෙන්නේ කිසිම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට හරි හිරිහැරයක්, කරදරයක් නොම වන ලෙස රජයේ අධිභාරය සපුරා ගත යුතු බවයි. ශ්‍රී ලංකාව යටත් විජිතයක් වූ බ්‍රිතාන්‍ය යුගයේ දී ධාන්‍ය බද්ද, පොල් බද්ද, පාර බද්ද, තුවක්කු බද්ද, බලු බද්ද, ඉස්තෝප්පු බද්ද යනාදී විවිධ බදු වර්ග පනවා ඇත. ලෝකයේ මුල් වරට 1799 දී ආදායම් බද්ද හඳුන්වා දුන් අතර එය ක්‍රමිකව අනෙකුත් රටවලට ව්‍යාප්ත විය. රටක බදු අය කිරීම එරටෙහි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වලට පරිභාහිරව ඉටු කල නොහැක. ශ්‍රී ලංකාවේ සර්ව ආර්ථික අරමුණු ළඟා කර ගැනීම උදෙසා රජයේ ආදායම් හා වියදම් මනා පාලනයකින් පවත්වා ගැනීම මෙහි අරමුණ වේ. එනම්, මේ අන්තර්ගතයට එකඟව සෑම රටක්ම අනුගමනය කළ යුතු ප්‍රධාන බදු මූලධර්ම කීපයකි.

සරලභාවය, මධ්‍යස්ථභාවය, සමානාත්මතාව, අවම පිරිවැය, සාධාරණත්වය, පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි වීම යන්න එහි ප්‍රධාන ගුණාංගයන් වේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින බදු ව්‍යුහය ගත් කළ එය ප්‍රධාන කොටස් 02 කි.

  1. සෘජු බදු
  2. වක්‍ර බදු

එහි දී සෘජු බදු ගණය තුළට ඇතුළත් වන්නේ ආදායම් බද්ද, ආර්ථික සේවා ගාස්තු අය කිරීම් ය. 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ විධි විධාන මත පදනම් ව ආදායම් බදු අය කරනු ලැබේ. එහි දී සාමන්‍යයෙන් ව්‍යාපාර ආයතනයක මූල්‍ය වර්ෂයක් ලෙස සැලකෙන්නේ අප්‍රේල් 01 වැනිදා සිට මාර්තු 31 දක්වා කාලයයි. යම් තැනැත්තෙකු ගේ හෝ හවුල් ව්‍යාපාරයක ඉපැයූ හෝ උපයන ලාභ සහ ආදායම් බදු පැනවේ. එයට අවශ්‍ය නෛතික බලය සඳහා විධිවිධාන දේශීය ආදායම් පණත මඟින් සලසයි.

බදු ගෙවීම ස්වතක්සේරු පදනම මත වාරික 04 කින් සහ අවසාන ගෙවීමකින් සමන්විත වේ. 

බදු අය කරන ක්‍රියාවලියේ දී ව්‍යාපාර ආයතනයක පිරිවැටුම මත බදු අය කිරීම, ඕනෑම රටක සිදුවන්නකි. එහිදී විශේෂයෙන් වැදගත් වන්නේ අලුතින් ආයෝජනයක් සිදු කර, ව්‍යාපාරයක් ආරම්භ කරන්නෙකුට තමන් විසින් ගෙවිය යුතු බදු මොනවාද, ප්‍රතිශතය කීයද, ගෙවන ආකාරය කුමක්ද, බදු සහන ලබා ගත හැක්කේ කෙසේ ද යන්න දැනුවත් වීම වැදගත් ය. එහිදී විදෙස් රටවල පවා සිදු කෙරෙන්නේ බදු උපදේශන සේවා මඟින් විශේෂඥ වාර්ථා කැඳවීමයි. ලංකාවේ නම් එවැනි වාර්තාවකට ලක්ෂ 5 කට වැඩි මුදලක් වැයවන බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි.

බදු උපදේශන සේවාව බදු අය කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සඳහා දැනට ක්‍රියාත්මක ගාස්තු අය කිරීම ලොව පිලිගත් උපදෙස් නියමයන්ට අනුකූලව සිදුවන්නක් බව දේශිය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි. බදු ගෙවන්නෙකු විසින් පෞද්ගලික රීති නියමයන් සඳහා ඉල්ලුම් කර ඇති අවස්ථාවේ දී ගාස්තු ලෙස රුපියල් 25,000 ක මුදලක් අය කරන්නේ ඔවුන් උපදෙස් ඉල්ලා සිටියහොත් පමණක් බව ද ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට (බදු උපදේශනය) දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින්, බදු කොමිසමේ ජ්‍යෙශ්ඨතම නිළධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ. බදු උපදේශන සේවාව ලබා ගැනීමේදී බදු ගෙවන ස්භාවය අනුව උපදේශන ගාස්තු වෙනස් නොවන අතර මේ හා සම්බන්ධව බදු උපදෙස් අවශ්‍ය කරන්නාගේ පෞද්ගලික රීති සොයා බලා ඔහුට මේ උපදේශනය ලබා දීමට මුදලක් අය කරනවාද, නැද්ද යන්න බදු කොමිසම තීරණය කරයි.

විශේෂඥ කමිටුවක් පත් කිරීම තුළින් ඇතිවන වාසි

  • ලංකාව තුළ ක්‍රියාත්මකවන බදු අය කිරීමේ ක්‍රියාවලිය විධිමත් වේ.
  • අනවශ්‍ය ගාස්තු වලින් තොර නිවැරදි බදු ක්‍රම ගැන අවබෝධයක් ලැබීම.
  • ආයතනයකට අදාළව අනවශ්‍ය පිරිවැය අවම කර ගැනීමට හැකි වීම යනාදිය යි.

ආදායම් ඉපයීමේ ක්‍රියාවලියට දායක වන්නන් ඔවුන් උපයන ආදායම් ප්‍රමාණය අනුව බදු වෙවීම යුතුකමක් සේම වගකීමකි. රජයක් විසින් ජනතාවගේ පොදු පහසුකම් දියුණු කිරීමේ කාර්යයේදී සහ සංවර්ධන ක්‍රියාවලියේදී එම බදු ආදායම වැදගත් කාර්යය භාර්යයක් ඉටු කරයි.ආයතනයක් ලෙසට බදු ක්‍රම පිළිබඳව හා ගෙවිය යුතු ආකාර පිළිබඳව දැනුවත් වීමට බදු උපදේශකයන්ගේ සහය අත්‍යවශ්‍යය. එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යම් සාධාරන වෘත්තීය ගාස්තුවකට යටත්ව එම පහසුකම් සැපයීම පැසසිය යුතු කාර්යයකි.

(තිළිනි ඉලංගසිංහ)

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *