“හරිත” ණයෙන් දේශීය ව්‍යාපාරිකයන්ට අතහිත

Share Button

2018 ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පොලිතීන් තහනම අනුව පොලිතීන් වෙනුවට භාවිත කළ හැකි දිරාපත් වන අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලබන  ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා දේශීය ව්‍යාපාරිකයන් උනන්දු කරලීම පිණිස රජය මඟින් “හරිත” නමින් ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දී තිබේ. පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදනය අධෛර්යමත් කිරීම තුළින් පරිසර දුෂණය අවම කිරීම මෙහි බලපොරොත්තුවයි.

එමෙන්ම රසායනික පොහොර භාවිතයෙන් සිදුවන ජල දූෂණය හේතුවෙන් කෘෂිකාර්මික ප්‍රදේශවල ජනතාව බෝ නොවන රෝගයන්ට ගොදුරුව සිටිති. ඒ සඳහා දිගු කාලීන විසදුමක් ලෙස ජනතාව කාබනික පොහොර කර්මාන්තය කෙරේ යොමුකරවීමට රජය වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරයි.

රට තුළ නිර්මාණය වෙමින් පවතින විශාල කාබනික පොහොර ඉල්ලුමට සරිලන ලෙස කාබනික පොහොර නිෂ්පාදනය විධිමත් කිරීමට අවශ්‍ය සහන “හරිත” ණය යෝජනා ක්‍රමයෙන් ලබා ගත හැකිය.

සංචාරක සේවාවන් සපයන කුඩා පරිමාණ හෝටල් හිමියන්ට හා ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නිවාස හිමියන්ට සංචාරක සත්කාර නිවාස ( Home Stay) ව්‍යාපෘති පවත්වා ගෙන යාමට පිණිස එම නිවාස අදාළ ප්‍රමිතීන්ට අනුව සකස් කිරීමට ද “හරිත” ණය යෝජනා ක්‍රමය යටතේ සහන ණය ලබා ගත හැකිය.

සංචාරක සත්කාර නිවාස වැඩසටහනට හරිත සංකල්පය ( Green Concept) යටතේ අදාළ නිවාස අලුත්වැඩියා කිරීම හි ඉදිකිරීම සිදුකළ යුතු අතර එහි දී විශේෂයෙන්ම හරිත බල ශක්ති භාවිතයට යොමු කිරීම ද රජයේ අපේක්ෂාවයි. වසර 7 ක උපරිම කාලයකට යටත්ව රුපියල් මිලියන 5 ක උපරිමයකට යටත්ව ණය ලබාගත හැකිය.

රජය මඟින් ගෙවිය යුතු පොලී අනුපාතිකයෙන් භාගයක් (50%) ගෙවන හෙයින් ණය ලබා ගන්නා පාර්ශවයෙන් ගෙවිය යුතු පොලී අනුපාතය 6.75 කි. සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ මුලික අරමුණින් සංචාරක සත්කාර නිවාස වැඩසටහන් සඳහා පමණක් 6% ක විශේෂ  පොලී අනුපාතයක් අය කරනු ලබයි.

2018 වසර සඳහා රජය මඟින් “හරිත” ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගන්නා ණය සඳහා පෙලී සහන ගෙවීමට වෙන් කළ මුදල රුපියල් මිලියන 60 කි. ව්‍යාපාරිකයන්ට ඉදිරියේ දී රාජ්‍ය හා පෞද්ගලික බැංකු මඟින් “හරිත” ණය ලබා ගැනීමට හැකියාව තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *