ඉරාන හමුදා ප්‍රධානියා ඝාතනය සම්බන්ධයෙන් පලිගන්නා බවට ඉරානය සහතික වෙයි

Share Button

ඉරාන විප්ලවීය හමුදාවේ කුඩ්ස් බලකායේ ප්‍රධානි ජෙනරාල් කාසිම් සුලෙයිමාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පලිගන්නා බවට එරට උත්තරීතර නායක අයතොල්ලා අලි කුමේනි සහතික වෙයි. ඔහුගේ මරණය සම්බන්ධයෙන් දින තුනක ජාතික ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබේ. මෙම මෙහෙයුම සම්බන්ධයෙන් ඇමරිකානු පාලනාධිකාරිය කොංග්‍රස් මණ්ඩලය දැනුම්වත් කර නොතිබූ බව එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කමිටුවේ ප්‍රධානියා සඳහන් කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ එය කොංග්‍රස් මණ්ඩලයේ බලතල නොසලකා හැරීමක් බවයි.මේ අතර ඉරානය තුළ ඇමරිකාව නියෝජනය කරන ස්විට්සර්ලන්ත තානාපතිවරයා කැඳවා ඇති ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විරෝධතාව පළ කර ඇත. ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ ජාත්‍යන්තර අර්බුද පිළිබඳ කණ්ඩායමේ සාමාජිකයකු වූ රොබට් මාලි පෙන්වා දෙන්නේ මෙම ඝාතනය මගින් ඇමරිකාව ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කර ඇති බවයි. ජෙනරාල්වරයාගේ ඉලක්කගත ඝාතනය බොහෝ දුරට නීති විරෝධී විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඉරාන ජෙනරාල් කාසිම් සුලෙයිමාන් ඇතුඑ කණ්ඩායම ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන්තොටුපලට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූහ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත මෙම මෙහෙයුම දියත් කළ බව පෙන්ටගනය පවසයි. ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම ප්‍රහාරයට පිලිතුරු වශයෙන් ජනාධිපති ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමෙහි ඇමරිකානු ධජය දක්වා තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *