කොළඹ – මාළඹේ සැහැල්ලු දුම්රිය සේවය මේ වසරේ දී ඇරඹේ

Share Button

මිල කළ නොහැකි දෑ අමිලය. ඒ අතරින් ද කාලය අපට බෙහෝ වටින්නේ ගෙවී ගිය කාලය කිසි ලෙසකත් නැවත ලබාගත නොහැකි හෙයිනි. දෛනික ගමන් බිමන් සඳහා වැඩි කාලයක් ගත වේ. නගර හා නගරාසන්න මාර්ග වල දැඩි වාහන තදබදයක් පවතියි. විශේෂයෙන්ම බත්තරමුල්ල, බොරැල්ල, දෙමටගොඩ ආදී ප්‍රදේශයන්හි පවතින්නේ දැඩි වාහන තදබදයකි. එවන් විටක ගමන් ගන්නා කාලයෙන් වැඩි වේලාවක් ගතවන්නේ මාර්ග තදබදය නිසා මහමඟ රැදී සිටින්නටය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ නගරය වීම හේතුවෙන් හා වැදගත් කේන්ද්‍රීය නගරයක් වීම හේතුවෙන් දෛනිකව කොළඹ නගරයට ලක්ෂ 2ක් පමණ වාහන ඇතුළු වේ. මේ නිසා 1980 වර්ෂයේ දී කොළඹ නගරයේ පැයට කිලෝමීටර් 40-60 ත් පමණ අගයක පැවති වාහන ධාවන වේගය වාහන තදබදය හේතුවෙන් මේ වන විට පැයට කිලෝ මීටර් 5 දක්වා අඩුවී තිබේ. ඒ අනුව මේ වන විට කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක අවශ්‍යතාව දැඩිව දැනෙමින් පවතියි.

මේ සඳහා පිලියමක් ලෙස සැහැල්ලු දුම්රිය සේවාවක් ඇරඹීමට මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

ඊට අදාළ මාර්ග උපදේශනය ලබා දීම හා අධ්‍යයන වාර්තා පිළියෙළ කිරීම කොරියානු සමාගමක් වන සෙං යං ඉන්ජිනියර්  ( Seo Young Engineering) ආයතනය මඟිනි.

සැහැල්ලු දුම්රිය සේවාවක් යනු කේබල් කාර් ක්‍රමයට සමාන වු   විදුලි බලයෙන් ක්‍රියාත්මක මහා මාර්ග හා සම්බන්ධ වු දුම්රිය ප්‍රවාහන පද්ධතියකි.මෙම දුම්රිය ප්‍රවාහන සේවා ධාවනය පිණිස මහා මාර්ගයට ඉහළින් ගුවන් පාලම්වලට සමාන අයුරින් සැහැල්ලු දුම්රිය මාර්ග ඉදිකරනු ලබයි. සාමාන්‍ය දුම්රිය මෙන් නොව මෙම සැහැල්ලු දුම්රියට තීව්‍ර වංගු හා උසින් යුත් මාර්ගවල ගමන් කිරීමට හැකියාව පවතියි.

සැහැල්ලු දුම්රිය ප්‍රවාහන සේවා ව්‍යාපෘතිය යටතේ  සැහැල්ලු දුම්රිය සේවා පද්ධති 7ක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. ඒ යටතේ,

  1. කොල්ලුපිටිය, බම්බලපිටිය,බොරැල්ල, යුනියන් ප්ලේස්, හරහා මරදාන ( 15 Km )
  2. පිටකොටුව,මරදාන,මට්ටක්කුලිය, පෑලියගොඩ (11.5 Km)
  3. දෙමටගොඩ, බොරැල්ල,කිරුළපන, හැව්ලොක් ටවුන් හරහා බම්බලපිටිය (10 Km)
  4. බොරැල්ල – බත්තරමුල්ල (10 Km)
  5. බත්තරමුල්ල , කොට්ටාව හරහා මාළඹේ (9.6 Km)
  6. මාලඹේ – කඩුවෙල (6 Km)
  7. පෑලියගොඩ, කැළණිය, කිරිබත්ගොඩ, මහර, හරහා කඩවත (10 Km)

වශයෙන් මාර්ග පද්ධති 7 ක් ඉදි කිරීමට අපේක්ෂිතය.

මෙහි පළමු අදියර ලෙස මාළඹේ සිට පිටකොටුව දක්වා සැහැල්ලු දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.

ඒ අනුව පිටකොටුවේ සිට බස්නාහිර පළාත් ගමනාගමන මධ්‍යස්ථානය ශාන්ත ජෝසප් විද්‍යාලය, ජාතික රෝහල, බොරැල්ල, කොටාපාර, වැලිකඩ, රාජගිරිය, සෙත්සිරිපාය, බත්තරමුල්ල, පාලම්තුන, රොබට් ගුණවර්ධන මාවත, ලුම්බිණි පන්සල, තලාහේන, මාළඹේ හරහා මාළඹේ  IT Park දක්වා දිවෙයි.

මෙම මාර්ගයේ නැවතුම් මධ්‍යස්ථාන 16 ක් ඇති අතර එක් නැවතුම් පොළක තත්පර 30 කාලයක් සැහැල්ලු දුම්රිය නවතා තබනු ලබයි.

මංතීරු දෙකකින් ඉදිවන මෙම මාර්ගයේ මාළඹේ සිට කොළඹ දක්වා ගමන් කිරීමට ගතවන කාලය විනාඩි 27 ක් වන අතර සිය ගමන් පහසුව පිණිස එක් දින හෝ මාසික වාර ප්‍රවේශපත් මිලදී ගැනීමට හැකි අතර සිය ජංගම දුරකථනය භාවිත කිරීමෙන් ද සිය මගී ප්‍රවේශපත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතියි.

මගී ප්‍රවාහනය පිණිස එන්ජින් මැදිරිය සමඟද මැදිරි හතරක දුම්රියක් යොදවනු ලැබේ. එක් මැදිරියක මගීන් 165 දෙනකුට ගමන් කිරීමට හැකිය.

ඉදිරි වර්ෂයන්හි එම මැදිරි සංඛ්‍යාව 6ක් දක්වා වැඩි කිරීම සැලසුම් වන අතර ඒ අනුව පැයකට එක් දිශාවකට 30 000 ක මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කිරීමට අපේක්ෂිතය.

2023 වන විට මෙම දුම්රිය සේවාව හෝමාගම, හොරණ, මීරිගම ප්‍රදේශ දක්වා දිගු කිරීම මෙම ව්‍යාපෘතියේ සැලැස්මයි.

මාළඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදි කිරීම පිණීස ඩොලර් බිලියන 1.4ක් වැය වන අතර සමස්ත මාර්ග පද්ධතිය ඉදි කිරීම පිණිස ඩොලර් බිලියන 6 ක මුදලක් වැයවන බවට ගණන් බලා තිබේ.

ජයිකා ( japan International co- operation Agency – JICA) සමාගම විසින් මේ සඳහා මුල්‍ය ආධාර සපයන අතර පොලිය සියයට දශම (0.1%) සහනදායී ණයක් ලෙස ලබා දෙයි. ණය ආපසු ගෙවීමට වසර 40 කාලයක් ලබා දෙනු ලබයි. එමෙන්ම ණය ගෙවීම පිණිස වසර දහයක අනුග්‍රහ කාලයක් ලබා දීමට ද එම ආයතනය එකඟ වී  තිබේ.කොටුව –  මාළඹේ සැහැල්ලු දුම්රිය ඉදි කිරීම පිණිස මෙවර අයවැයෙන් ද වැඩි අවධානයක් යොමු කර තිබේ.

මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙන්නේ 1860 දී බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයක් ඇරඹීමෙන් පසුව මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවන ප්‍රධනතම පෙරළිය මෙය වන බවයි.

පිටකොටුව – මාළඹේ සැහැල්ලු දුම්රිය සේවාව ඇරඹීමත් සමඟ මගී ජනතාවට හිමිවන වාසි රැසකි. එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ චමින්ද ආරියදාස මහතා පෙන්වා දෙන්නේ මෙහි ගමන් කරන මඟීන්ට සිය වටිනා කාලය ඉතිරි කර ගත හැකි බවයි.

ඒ අනුව දුම්රිය ස්ථානයකින් සැහැල්ලු දුම්රියකට ගොඩවන පුද්ගලයෙකුට සිය ගමනාන්තය කරා ළඟාවන වේලාව නිශ්චිතව දැන ගැනීමට හැකිවේ. ඒ අනුව විනාඩි 27 ක් ගතවන මාළඹේ – පිටකොටුව සැහැල්ලු දුම්රිය මාර්ගයේ මාළඹේ නැවතුම් පොළෙන් උදෑසන 7.00 ට ගොඩවන පුද්ගලයෙකුට 7.27 වන විට පිටකොටුවට ළඟා වීමට හැකිවේ.

එමෙන්ම මහාමාර්ගය හා සැසදීමේ දී සැහැල්ලු දුම්රිය ඉතාමත් ආරක්ෂාකාරීය. මාර්ග අනතුරු අවම වේ.

ඉතාමත් සුවපහසු ප්‍රවාහන සේවාවක් වන මෙය වායු සමීකරණය කර තිබේ. සිය ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගැනීම පිණිස පෞද්ගලික වාහනයක් භාවිත කරන්නෙකුට එහි නඩත්තු කටයුතු හා ඉන්ධන සඳහා සැළකිය යුතු මුදලක් වැය කිරීමට සිදු වේ.

සැහැල්ලු දුම්රිය සේවා භාවිත කිරීමෙන් ඉතාමත් අඩු මුදලකට ඉක්මනින් සිය ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකිවීම මගී ජනතාවට හිමිවන තවත් එක් ප්‍රතිලාභයකි.

උදෑසන 4.30 සිට රාත්‍රී 11.30 දක්වා ක්‍රියාත්මක මෙම සැහැල්ලු දුම්රිය සේවාවෙන් ඔබට හිමිවන තවත් ප්‍රතිලාභයක් වන්නේ මගීන් වැඩිපුර ගමන් ගන්නා කාලයන්හි සෑම විනාඩි 3 ත් 3 1/2  කට වරක්ම සැහැල්ලු දුම්රියක් පිටත් වීමයි.

මහා මාර්ගයක් සෑම විටම ඝෝෂාකාරී ස්ථානයකි. එනිසාම පොදු ප්‍රවාහන සේවාවකින් හෝ පෞද්ගලික වාහනයකින් මහා මාර්ගයේ ගමන් කරන්නෙකු මානසික ආතතියට ලක්වීම සාමාන්‍ය දෙයකි. මෙවන් සේවාවක් භාවිත කරන්නෙකු එවන් මානසික ආතතියකට ගොදුරු නොවේ.එමෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සැහැල්ලු දුම්රියෙන් දුමක් පිට නොවීම නිසා වායු දූෂණයක් ද සිදු නොවේ. ගමන් ගන්නා මගීන්ගේ ශරීර සෞඛ්‍යයට ද ඉන් අහිතකර බළපෑමක් එල්ල නොවේ.

 

එමෙන්ම park & Ride සංකල්පය යටතේ නිවසේ සිට සිය පෞද්ගලික වාහනයකින් දුම්රිය පොළට පැමිණෙන්නෙකුට සිය වාහනය එහි ගාල් කිරීමට අවශ්‍ය වු සියළු පහසුකම් සලසා තිබේ.රැකියාවට ගොස් නැවත පැමිණෙන තෙක් සිය වාහනය එහි සිය වාහනය සුරක්ෂිතව එහි නවතා තැබීමමේ හැකියාව ඔබ සතුව පවතියි.

මෙම ව්‍යාපෘතිය යටතේ සැහැල්ලු දුම්රිය පොළ ආශ්‍රිත ප්‍රදේශයන් ද සංවර්ධන කිරීමට සැලසුම් කර තිබේ. සුපිරි වෙළඳසැල්, නිම් ඇදුම් සාප්පු, සන්නිවේදන මධ්‍යස්ථාන, ආහාරපාන අලෙවිසැල් ද ඒ ආශ්‍රිතව ඉදිවන හෙයින් දුමිරිය පොළෙන් නැවත නිවෙස් බලා පිටත්වන්නට සිය අවශ්‍යතා කඩිනමින් සපුරා ගැනීමේ හැකියාව ද පවතින බව චමින්ද ආරියදාස මහතා පෙන්වා දෙයි.

www.clr.lk වෙබ් අඩවියට පැවිසීමෙන් මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වැඩිදුර විස්තර දැනගනීමට ඔබට හැකියි.

ශ්‍රී ලාංකේය ප්‍රවාහන කේෂ්ත්‍රයේ නවමු පෙරළිය සැහැල්ලු දුම්රිය ගමනාගමන පද්ධතියේ වැඩ මේ වසරේ දෙසැම්බර් මස වන විට ඇරඹීමට මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය සියලු කටයුතු යොදා තිබේ.

( නදීරා අමරසිංහ)

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *