ගෝලීය වෙළඳපොළ ජයගන්න සිංගප්පූරැ වෙළඳ ගිවිසුමෙන් පුළුවන් – අමාත්‍ය මලික් සමරවික්‍රම
ගෝලීය වෙළඳපොළ හා තරග කරමින් සංවර්ධනය කරා ළගා වන්නට ශ්‍රී ලංකා – සිංගප්පූරැ වෙළඳ ගිවිසුම හරහා හැකියාව ලැබෙන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළදාම පිළිබඳ කැබිනට් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා – සිංගප්පූරැ වෙළඳ ගිවිසුම සම්බන්ධව ඊයේ (17) පැවති පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමිනි.
මෙහිදී ගිවිසුම සම්බන්ධව අදහස් දැක්වු අමාත්‍යවරයා “විපක්ෂයේ සමහර මන්ත්‍රීවරැන් සහ සමහරක් සංවිධාන විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA), ඔවුන් වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් විශේෂඥයන් යැයි සිතමින් කිසිදු පදනමකින් තොර චෝදනා එල්ලකරනවා. මෙම කරැණු සත්‍යතාවයෙන් තොර බව මම මගේ ප්‍රකාශය ආරම්භයේදීම පවසා සිටින්නේ වගකීමකින් යුතුවයි.” යනුවෙන් පැවසීය.
විදේශ ආයෝජන වැඩි කරගැනීම හා ගෝලීය වෙළඳපොළ සමඟ ඇති සම්බන්ධතා වැඩි කර ගැනීම මෙම වෙළඳ ගිවිසුමේ අරමුණ බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම වෙළඳ ගිවිසුමෙන් සිංගප්පුරුවේ පුරවැසියෙක් වන වෛද්‍යවරයෙක්ට, ඉංජිනේරුවරයෙක්ට, ගෘහ නිර්මාණ ශිල්පියෙකුට හෝ කිසිදු නිදහස් වෘත්තිකයෙකුට ශ්‍රී ලංකාවට පැමිණ වෘත්තීය සේවාවන් වල යෙදීමට හැකියාවක් නොමැති බව ද අවධාරණය කර සිටියේය.
වෙළඳ ගිවිසුම් හරහා ලංකාවට එන සේවා සපයන්නන් සියලු දෙනාම රටේ පවතින ආගමන විගමන නීති වලට යටත් වනබව පෙන්වා දුන් අමාත්‍යවරයා ඔවුන්ට අනෙකුත් පුද්ගලයන්ට මෙන් සාමාන්‍ය පරිදි ආගමන විගමන නීති බලපාන බව හා ඔවුන්ව ආගමන විගමන නීති වලින් කිසිදු නිදහස් කිරීමක් සිදුකර නොමැති බව ද පැවසීය.
මෙම ගිවිසුමට එළඹ ඇත්තේ රටට අවාසියක් වන සියලු කරැණු සඳහා කොන්දේසි ඉදිරිපත් කරමින් බවත් රට ගැන නොසිතා මුලු භාණ්ඩ හා සේවා වෙළඳපොළ සිංගප්පූරැවට නිදහස් කර ඇති බව කිසිවෙක් ප්‍රකාශ කරන්නේ නම් එය විශාල අසත්‍යයක් බව අමාත්‍යවරයා පැවසීය.