ආර්ථික අර්බුදය ජය ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මෙතෙක් සහාය ලැබි නැතැයි ජනාධිපතිතුමාගෙන් චෝදනා

Share Button

රට ගොදුරුවී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩදිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. වර්තමානයේ පවතින්නේ ගෝලීය අර්බුදයකි. වැටුනු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල් වන ප්‍රතිපත්ති සම්පාදන වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයටයි. ලෝකයේ රටවල මහබැංකු අර්බුද ජය ගැනීමට මෙවලම් සමුහයක් හදුන්වාදී තිබේ. එහෙත් මෙරට මහ බැංකුවෙන් එවැනි යහපත් ප්‍රතිචාරයක් නොමැති බව එතුමා කියා සිටි. අර්බුදය ජය ගැනීමට කළ යුතු දේ අප්‍රමාදව තමාට දැනුම් දෙන ලෙස රාජපක්ෂ මැතිතුමා මහබැංකු ප්‍රධානීන්ට පැවසීය. ආර්ථික පුනර්ජීවනයට රජය යෝජනා ඉදිරිපත් කර තිබේ. ඊට මහ බැංකුවේ සහාය මෙතෙක් ලැබි නොමැත. එසේ කිරීමට හේතුව කුමක්දැයි පැහැදිලි කරන ලෙස ජනාධිපතිතුමා ඔවුන්ට දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා මහබැංකු අධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම අවවාදාත්මක ප්‍රකාශය කළේය. පසුගිය වසර කිහිපය තුළ ආයතන රැසකට සැපයු සේවා වෙනුවෙන් රජය විශාල මුදලක් ගෙවීමට නියමිතව තිබේ. ඒවා ඇපකර ලෙස තබාගෙන රුපියල් බිලියන 150 ක් බැංකු වෙත ලබාදීමට ජනාධිපතිතුමා කළ යෝජනාව මහබැංකුව පැහැරහැර ඇත. මේ නිසා සිදුවන ආර්ථික පසුබැස්ම පිළිබඳ චෝදනාව රජය මත පැටවෙන බව ජනාධිපතිතුමා කීවේය. මහබැංකු මුල්‍ය වංචාව සිදුවු සමයේ සිටි නිලධාරිහු තවමත් සිය තනතුරු හොබවති. ඒ මහ වංචාවට සහායවු ඔවුන් රට හැදීමට සහාය නොදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සිය අප්‍රසාදය පළ කළේය. රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමේ කාර්යභාරය මහබැංකුව වෙත පැවරි තිබේ. එය ඉටු කිරීම වෙනුවට මහබැංකුව තම යෝජනා ද අවහිර කර ඇතැයි එතුමා කීවේය. ගැටඵ අවබෝධ කරගෙන ඉක්මනින් මහබැංකුවේ යෝජනා හෝ තම යෝජනාවට අනුමැතිය දෙන්නැයි එතුමා කියා සිටියේය. එය අදම සිදුකළ යුතු යැයි අවධාරණය කෙරුනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *