සහරාන් හෂීම්ගේ අන්තවාදි අදහස් පිළිබඳ එවකට පැවති යහපාලන රජයේ පක්ෂ දෙකම දැනුවත් කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා පවසයි

Share Button

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අන්තවාදි අදහස් පිළිබඳ එවකට පැවති යහපාලන රජයේ පක්ෂ දෙකම දැනුවත් කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පවසයි. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි දෙමින් ඔහු මේ බව කීවේය. විශේෂ කණ්ඩායමක් යොදා සහරාන් හෂීම් අත්අඩංගුවට ගත යුතු බව තමා 2018 වසරේ මැයි මාසයේදී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කළ බවද ඔහු පැවසීය. දේශපාලන පක්ෂ දෙකක් එකතුව රට පාලනය කරන සමයක තමා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරය දැරුවද දේශපාලනඥයින්ට අවශ්‍ය ලෙසට බුද්ධි වාර්තා වෙනස් නොකළ බව සිව්වැනි දිනටත් සාක්ෂි දෙමින් ඔහු කීවේය. ආරක්ෂක අමාත්‍යංශය එක් දේශපාලන පක්ෂයක් සතුවු අතර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය තවත් දේශපාලන පක්ෂයක් සතුව තිබුනි. දේශපාලන අදහස් විවිධාකාරවු අතර පක්ෂ දෙකේ දර්ශනයන් ද වෙනස්ය. එබැවින් ආරක්ෂක ලේකම්වරයාත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාත් දැනුවත් කළ යුතුව තිබුනි. ඒ සදහා ආරක්ෂක මණ්ඩලය සුදුසුම ස්ථානය ලෙස තමා උපයෝගි කර ගත් බව ඔහු කීවේය. 2016 නොවැම්බර් මස 24 වැනිදා එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වු සාගල රත්නායක මහතා වෙත ලිපියක් යොමු කරමින් සිංහල හා මුස්ලිම් ජාතින් අතර පවතින නොසන්සුන්කාරි තත්ත්වය පිළිබඳව දැනුවත් කළ බව ඔහු කීය. රටපුරා පැවති විරෝධතා නිසා ජනකොටස් බෙදි අසමගියක් ගොඩනැගෙන ආකාරයත් ඊට ඇතැම් දේශපාලනඥයන්ගේ දායකත්වය ලැබි ඇති බවත් ලිපිය මගින් පෙන්වාදුන් බව හෙතෙම සදහන් කළේය. එසේම එම ලිපියෙන් 2016 නොවැම්බර් මස 20 වැනිදා කාත්තන්කුඩිහි පිහිටි ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කාර්යාලයේදී සහරාන් හෂිම් පැවැත්වු දේශනයක් පිළිබඳව දැනුවත් කර ඇත. එහිදී සහරාන් හෂීම් පෙන්වාදී ඇත්තේ ඥාණසාර හිමියන් යනු මුස්ලිම් ජාතිකයන් විනාශ කිරීමට පැමිණි පුද්ගලයෙකු ලෙසයි. රට පාලනය කරනුයේ මෛත්‍රිපාල මහතාද ඥාණසාර හිමිද යන්න ඔහු එහිදී ප්‍රශ්න කොට ඇත. ඥාණසාර හිමියන් එල්ල මැරීම හෝ ගල්ගසා මැරීම හෝ රටින් පිටුවහල් කිරීම කළ යුතු බවද ඔහු සිය දේශනයේදී පෙන්වාදී ඇතැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11