අද ඇතැම් වෘත්තිය සමිති සිදුකරන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් – ඇමති හරීන්

Share Button

වර්තමානයේ දී වෘත්තිය සමිති සිදු කරන්නේ රජය අපහසුතාවයට පත්කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. බොහෝදෙනාට අවශ්‍ය රට නැවත වහල්යුගයක් කරා රැගෙන යාම බව අද (30) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේය.

වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා නම් රට සහ මහජනතාව අසීරුතාවට පත් නොකර එම අරමුණු ඉටුකරගැනීමට පමණක් වෘත්තිය සමිති කටයුතු කළ යුතු බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය. යහපාලන රජය ලබා දී තිබෙන නිදහස අවභාවිත කරමින් රට සහ මහජනතාව අසීරුතාවට පත්කිරීමට තරම් ඇතැම් වෘත්තිය සමිති පහත් තත්ත්වයට පත්වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එම නින්දිත තත්ත්වයට විරුද්ධව දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා පෙළගැසිය යුතු බව ඔහු අවධාරණය කළේය. 2015 ට කලින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන්හි නිරත වූ වෘත්තිය සමිති නායකයන්ට සිදු වූ දේ බොහෝදෙනාට අමතක වී ඇති බවත් මහජන සුබ සිද්ධිය උදෙසා ලැබිය යුතු පහසුකම් පිළිබඳ හෝ සැබෑ ලෙස දිනාගත යුතු වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තිය සමිති පෙනී නොසිටින බවද ඔහු පැහැදිලි කළේය. යහපාලන රජය කොතරම් සංවර්ධන ව්‍යාපෘති සිදුකර තිබුණත් ඒ පිළිබඳ ප්‍රචාරණ කටයුතු සිදු නොකරන පසුබිමක වෘත්තිය සමිති හෝ එම කටයුතු පිළිබඳ විමසිලිමත් නොවී අඩුපාඩු ගැන පමණක් කතා කිරීම කණගාටුදායක බවද ඔහු සඳහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *