රිෂාඩ් බදියුදින් ඇමතිවරයාගේ සහෝදරයා සහ පාස්කු ප්‍රහාරකයන් අතර සබඳතා සොයා තවදුරටත් පරීක්‍ෂණ

Share Button

පාස්කු ප්‍රහාර පිළිබඳ විමර්ශනය කරන ජනාධීපති කොමිසමේදී රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙනත් පාර්ශව සමග ඔහු පැවැත්වු සබඳතා පිළීබඳ වෙනම පරීක්‍ෂණයක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ සිදුකරන බව චමල් රාජපක්‍ෂ ඇමතිවරයා කියයි. පාර්ලිමේන්තුවේදී චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා නැගු ප්‍රශ්නයකට පිළීතුරු දෙමින් ඇමතිවරයා පැවසුවේ සහරාන් හෂීම් සහ රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා අතර සිදුවු දුරකථන සංවාද 7 ක් පාස්කු කොමිසමේදී විමර්ශනයට ලක්කල බවයි. අවසන් දුරකථන ඇමතුම ලබාගෙන තිබුණේ පාස්කු ප්‍රහාරයට මාස 3 කට පෙරය. එම සියලු දුරකථන සංවාද පෞද්ගලික ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ දුරකථන ඇමතුම් බව තහවුරු වී තිබේ. මේ හේතුවෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා තවදුරටත් රැදවුම් නියෝග මත රදවා තබා ගැනීමේ හැකියාවක් රජයට නොමැති බව චමල් රාජපක්‍ෂ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් 130 දෙනෙකු ප්‍රශ්න කිරීමට ලක් වු බවත් ඉන් 10 දෙනෙකු මේවනවිට අත්අඩංගුවේ පසුවන බවත් ඇමතිවරයා සදහන් කළේය.
පාර්ලිමේන්තුව ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනා දැඩි සෞඛ්‍ය කොන්දේසි පිළිපැදීමට කටයුතු කළයුතු බවයි. පාර්ලිමේන්තුවට විශේෂ අමුත්තන් කැදවීමෙන් වළකින්නැයි කථානායකවරයා මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. අත්‍යවශ්‍යම රාජ්‍ය නිලධාරීන් පමණක් කැදවිය යුතුය.
ස්ථාවර නියෝග 27 දෙක යටතේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගු ප්‍රශ්නයකට පිළීතුරු දෙමින් අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර මුඩ්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් සිදුකළ ශ්‍රේණිගත කිරීම පිළිගත නොහැකි බවයි. ඒ සදහා පිළීතුරක් ශ්‍රී ලංකා රජය ලබාදී ඇත.එම ආයතනය ශ්‍රී ලංකාව ශ්‍රේණීගත කිරීමට ලක්කර ඇත්තේ රටේ අපනයන ක්‍ෂේත්‍රය පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකර බවද රාජ්‍ය ඇමතිවරයා සදහන් කළේය.

මුදල් සංශෝධන පනත් කෙටුම්පත හා ආනයන හා අපනයන පනත යටතේ රෙගුලාසියක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැණුනි. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *