මිණුවන්ගොඩ කොරෝනා පොකුරේ ආරම්භය සෙවීමට විශේෂ බුද්ධි මෙහෙයුමක්
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආරම්භය සෙවීමට රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ බුද්ධි මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අදාල විමර්ශන කටයුතු ක්‍රියාත්මක කෙරේ. නිරෝධායන ඇදිරි නීතිය කඩකරන පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුම් ද ක්‍රියාත්මක වෙයි.
මේ අතර රට තුළ පවතින තත්ත්වය සලකා බලා රෝගීන් බැලීම සහ රෝගීන් බැලීමට පැමිණිම සීමා කළ බව මහරගම පිළිකා රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල නිවේදන නිකුත් කරමින් සදහන් කරයි. මෙම රෝහල් සියලු සත්කාරක සේවා සදහා විවෘතව පැවතිය ද රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කොට මෙම තීරණය ගෙන තිබේ. මේ අතර කොළඹ අගරදගුරු පදවියේ අද දිනයේ සහ ලබන 25 වන ඉරුදින දිව්‍ය පුජා නොපැවැත්වෙන බව එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමා පවසති.