නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට රුපියල් පන්දහසක දීමනාවක්

Share Button

කොරෝනා හේතුවෙන් නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජීවනෝපාය අහිමි වු ජනතාවට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීම සදහා රජය රුපියල් කෝටි 40 ක් වෙන් කර තිබේ. පළමු අදියරේදී මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශවලට අයත් පවුල් 72 දහසකට වැඩි පිරිසක් සදහා මෙම පන්දහසේ දීමනාව ලබාදෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ලබන අගහරුවාදා සිට දීමනාව ලබාදීමට සියලු කටයුතු යොදා ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. සමෘද්ධී සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණ යටතේ මෙම මුදල් ගෙවීමට සැලසුම් කර ඇත. ඇදිරි නීතිය පනවා ඇති අනෙක් පොලිස් බලප්‍රදේශ 16 සදහා දෙවන අදියර යටතේ අදාළ මුදල ලබාදෙනු ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සමෘද්ධී, වැඩිහිටි දීමනා, මහජන ආධාර කඩිනමින් ලබාදීමට ක්‍රියාකරන්නැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි. එමෙන්ම එම ප්‍රදේශවල විහාරස්ථාන ඇතුඵ ආගමික සිද්ධස්ථාන වෙත සහ වැඩිහිටි හා ළමා නිවාස සදහා අත්‍යවශ්‍ය ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ඇමතිවරයා උපදෙස් දුන්නේය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ ඊයේ පැවැති වැඩසටහනදී ඔහු මෙම අදහස් පල කළේය. ගම්පහ දිස්ත්‍රික්කයේ ඉකුත් සිකුරාදා තෙක් පී සී ආර් පරීක්‍ෂණ 21 දහසකට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති බව මෙහිදී හෙලි විය.

මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ බස්නාහිර ප්‍රදේශය භාර ආඥාපති මේජර් ජනරාල් චුලා අබේනායක මහතා පැවසුවේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් හදුනාගත් ආසාදිතයන්ගේ සමීපතමයන් සියලු දෙනා මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර අවසන් බවයි. දිස්ත්‍රික්කයේ පවුල් 2781 ක් නිවෙස් තුළම නිරෝධානය සදහා යොමුකර ඇත. ඉන් පවුල් 900 කට ආසන්න සංඛ්‍යාවක් සිටින්නේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේය. එම පවුල්වලට ආහාර සහ ඖෂධ ලබාදීමට රුපියල් මිලියන 5 ක් වෙන් කර ඇත. දිස්ත්‍රික්කයේ සමෘද්ධිය හිමි පවුල් එක්ලක්‍ෂ 37 දහසකට වැඩි සංඛ්‍යාවකට සමෘද්ධී දීමනාව කඩිනමින් ලබාදීමට ක්‍රියාකරන බව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්‍ෂවරයා මෙහිදී කීවේය. අත්‍යවශ්‍ය සේවා පවත්වා ගන යාමට සහ ග්‍රාමීය යාන්ත්‍රණය විධිමත් කිරීමට සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම කමිටුවක් පත් කරන ලෙසද ඇමතිවරයා උපදෙස් දුන්නේය. ඇදිරි නීති බලපත් ලබාදීම සදහා එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට තාවකාලිකව පොලිස් නිලධාරියෙකු අනුයුක්ත කෙරේ.

කඵතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට මතුගම අගලවත්ත සෞඛ්‍ය බලප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් 13 දෙනෙකු හමුවී ඇතැයි කඵතර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි. ඒ ආශ්‍රීතයන්ගේ පී සී ආර් පරීක්‍ෂණ 552 ක් සිදුකර ඇත. එමෙන්ම එම ආශ්‍රීතයන්ගේ පවුල්වල පුද්ගලයන් සහ සමීපතමයන් 715 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *