කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ රජයේ ප්‍රවාහන ප්‍රතිපත්තිය

Share Button

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් අන්තර් පළාත් මගී බස් රථ ධාවන කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම සදහා බස් රථ ධාවකයන්ගෙන් අය කරන ගාස්තු කිහිපයක් ඉකුත් මාර්තු මාසයේ සිට නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ. අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග් පත්‍ර ගාස්තු, පිවිසුම් පත්‍ර ගාස්තු සහ අධිවේගී මාර්ගයන් හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු ඒ අනුව නිදහස් කෙරේ. කෙසේ වෙතත් කොවිඩ් වසංගතය යලි මතුවීම හේතුවෙන් බස් රථ ධාවකයන්ට තවදුරටත් විවිධ ගැටළුවලට මුහුණදීමට සිදුවී ඇත. මගී ප්‍රවාහන සේවාව ගුණාත්මකව හා කාර්යක්ෂ්මව ලබාදීමට හැකිවන පරිදි ඔවුන්ට සහන සැලසීමට අවශ්‍ය බව හදුනාගෙන තිබේ. ඒ අනුව මෙම වසරේ අවසානය දක්වා එම සහන බස් රථ ධාවකයින්ට ලබාදීමට ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කොවිඩ් -19 වයිරස ව්‍යාප්තිය හමුවේ අත්‍යවශ්‍ය සේවා සහ රජයේ කාර්යාලවල දෛනික සේවා පවත්වාගෙන යාම සදහා ආරක්ෂිතව ගමනාගමන කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් වන රජයේ ප්‍රවාහන ප්‍රතිපත්තිය පිළිබඳව අද පස්වරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී කරුණු ඉදිරිපත් කරන බව ඇමති ගාමිණී ලොකුගේ මහතා පවසයි.
රජය ලබාදී ඇති උපදෙස්වලට අනුව කාර්යාල දුම්රිය සියල්ල ධාවනයට එක් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ජාතික ගුවන් විදුලියට පැවසිය. සංචරණ සීමා පනවා ඇති බැවින් දුරගමන් සේවා දුම්රිය කිසිවක් මේ වනවිට ධාවනය නොවේ. ඉදිරියේදී ගනු ලබන තීරණවලට අනුව ඒ පිළිබඳ අවධානය යොමු කරන බව ඔහු කීවේය.
හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවකයන් සදහා මගී සංඛ්‍යාව සැලකිල්ලට ගෙන බස් රථ ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවයට පැමිණෙන සේවකයන් ප්‍රවාහනයට අදාල ආයතන ඉල්ලීම් කරන්නේ නම් බස් රථ ලබාදිමට විශේෂ ඒකකයක් සකස් කර ඇතැයි සභාපතිවරයා සදහන් කළේය. ඒ සදහා 077-105-60-44 දුරකතන අංකයෙන් විමසීම් කල හැකිය.
කොවිඩ් -19 වයිරසය පැතිර යාමේ තත්ත්වය හමුවේ නව ප්‍රවාහන ප්‍රතිපත්තිය කඩිනමින් ඉදිරිපත් කරන්නේ නම් ජනතාව අපහසුතාවට පත් නොවන පරිදි පෞද්ගලික බස් රථ ධාවනයට සුදානම් බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අප කළ විමසීමක දී පැවසීය. දැනට දිවයින පුරා පෞද්ගලික බස් රථ 4000 ක් පමණ ධාවනයට එක් කර ඇතැයි ඔහු කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *