මෙරටින් අද උදෑසන වනවිට කොවිඩ් ආසාදිතයන් 356 ක්

Share Button

කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 356 දෙනෙකු මෙරටින් අද උදෑසන වනවිට හදුනාගෙන තිබෙ. ඔවුන් සියලු දෙනා දේශීයව හදුනා ගත් අය බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. අද උදෑසන වනවිට මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව දස දහස් අටසිය හතකි. ඒ අතරින් මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයන් එක්දහස් 41 දෙනෙකු සහ පෑලියගොඩ මත්ස්‍ය වෙලෙදපොලෙන් එක්දහස් හත්දෙනෙකු වශයෙන් හදුනාගෙන තිබෙ. ඉතිරි පුද්ගලයන් 8 දහස් 759 දෙනා මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ ආසාදිතයන්ගේ සහ පෑලියගොඩ මාඵ වෙලෙදපොලේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව එම මධ්‍යස්ථානය සදහන් කරයි. අද උදෑසන ඩුබායි සිට පුද්ගලයන් 16 දෙනෙකු ද දෝහා කටාර් සිට පුද්ගලයන් 18 දෙනෙකු දිවයිනට පැමිණ ඇත. ඔවුන් ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීම පියවර ගෙන තිබෙ. ඊයේ දිනයේ පි සි ආර් පරීක්ෂණ 7 දහස් 986 ක් සිදු කර ඇත. අද උදෑසන 6.00 වනවිට පුද්ගලයන් 595 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඔවුහු මිනුවන්ගොඩ ඇගලුම් පොකුරට අයත් පුද්ගලයෝ වෙති.

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ සිදු කළ පි සි ආර් පරීක්ෂණ 163 කින් 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට කොවිඩ් නයින්ටීන් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී චන්ද්‍රරාජන් මහතා පවසයි. මස්කෙලිය ගාඩිමෝර් වතුයායේ ගල්කන්ද ප්‍රදේශයේ නිරෝධායනයට යොමු කර සිටි පවුලක පාසල් සිසුවියට පමණක් මෙම වයිරසය ආසාදනය වී තිබේ. මස්කෙලිය බ්‍රවුන්ලෝ වතුයායේ කොවිඩ් ආසාදනය වී නිරෝධායනය මධ්‍යස්ථානයක සිටින පෑලියගොඩ මත්ස්‍ය වෙලෙදපොලේ ආසාදිතයෙකුගේ නිවසේ පැවති දානමය පිංකමකට එම සිසුවිය සහභාගි වී ඇත. එහිදී ඇයට වයිරසය ආසාදනය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. අදාල පාසල් සිසුවිය සහ ඇගේ මව නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට නියමිතයි.
මේ අතර බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරියකට හෙදියකට සහ සාත්තු සේවිකාවකට කොවිඩ් නයින්ටීන් වයිරසය ආසාදනය වී තිබෙ. එමෙන්ම මීගහතැන්නේ පදිංචි අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ද වයිරසය ආසාදනය වී ඇත.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *