2020 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද

Share Button

මුදල් ඇමතිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා 2020 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේ දී අද ආරම්භ කළේය. මෙවර පනත් කෙටුම්පත වඩා වෙනස් මුහුණුවරක් ගන්නා බව ඔහු කියා සිටියේය . අතුරු සම්මත ගිණුම් 4 ක් අන්තර්ගත විසර්ජන පනතක් වීම හා ඒ ආශ්‍රිත රාජ්‍ය මුල්‍ය කළමනාකරණය කිරීම පිළිබද ගිණුම් වාර්තාවක් වීම ඊට හේතුව බව අගමැතිවරයා පෙන්වා දෙයි. වෙනත් රජයන්ට වඩා වත්මන් රජය අභියෝගවලට මුහුණදී ඇතැයි රාජපක්ෂ මහතා කීවේය. එහිදී කොවිඩ් වසංගත තත්ත්වය බරපතලම අර්බුදයයි . රජයක් ලෙස පැහැදිලි ක්‍රියාමාර්ග ගනිමින් ඊට සාර්ථකව මුහුණ දෙමින් සිටින බව අගමැතිවරයා පැවසිය. මේ වනවිට ලෝකයේ සෑම රටක්ම පාහේ කොරෝනා උවදුරින් විශාල පසුබෑමකට ලක්ව තිබේ.

අන්තර්ජාතික මුල්‍ය අරමුදල මෑතක දී නිකුත් කළ වාර්තාවකින් ලෝකයේ ප්‍රධාන ආර්ථික සියල්ලම සෘණ ආර්ථිකයක් පෙන්වා ඇතැයි සදහන් කර තිබේ. ඉන්දියාවේ ආර්ථිකය පුරෝකතනය කෙරුනේ සියයට 10.3 ක ආර්ථික පසුබෑමක් ලෙසයි. ඇමරිකාව ද සියයට 4.3 ක පසුබැසීමක් පෙන්නුම් කර ඇත. බලවත්ම ආර්ථිකයක් ඇති චීනයේ ද ආර්ථික වර්ධනය සියයට 1.9 ක් වී ඇතැයි සදහන් වෙයි.

අනපේක්ෂිත දෙවන කොරෝනා රැල්ලේ බලපෑමෙන් මරණ සංඛ්‍යාව වැඩි වුවත් ශ්‍රීී ලංකාවට වඩා ඉදිරියෙන් ඇති බෝහෝ රටවලට සාපේක්ෂව මරණ අනුපාතිකය සියයට 0.3 ක් වැනි අඩු අගයක් ගනී. රෝග මර්දනය හා නිරෝධායන ක්‍රියාවලියේ ඉදිරියෙන් සිටීමට ශ්‍රීී ලංකාවට හැකිවී ඇත. නිදහස් සෞඛ්‍ය සේවාව එවැනි තත්ත්වයක් උදා කර ගැනීමට හේතුව වී තිබේ. කොරෝනා වයිරසය කළමනාකරණයට විශාල ප්‍රයත්නයක් දරා ඇත. රෝගීන් හදුනා ගැනීම, නිරෝධායන නියමු පරීක්ෂණ හා ආශ්‍රිත සුභසාධන කටයුතු සදහා රජය මේ වනවිට වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 70 දහසක් පමණ වන බව අගමැතිවරයා පෙන්වා දුන්නේය. රෝග නිවාරණ කටයුතු සදහා කොළඹට පමණක් සීමා වී තිබු රෝහල් ධාරිතාව විවිධ ප්‍රදේශ ආවරණය කරමින් 17 ක් දක්වා වැඩිකර තිබේ.

පී සී ආර් දෛනික පරීක්ෂණ සංඛ්‍යාව ද දසදහසකට වැඩි අගයක් ගෙන තිබේ. එම කටයුතු සදහා දෛනික වියදම රුපියල් මිලියන 50 ඉක්මවා ඇත. දින 14 ක නිරෝධායනයට ලක් කරන පුද්ගලයන්ගේ වෙනත් සුභසාධන කටයුතු වෙනුවෙන් ද රජය මුදල් වැය කරයි. අඩු අදායම්ලාභී පවුල්වලට රුපියල් 5000 ක දීමනාවක් ලබා දෙයි. රාජ්‍ය සේවකයන්ගේ දීමනා හා අනිකුත් වියදම් දැරීමට ද රජයට සිදුවී තිබේ. 2014 දී දළ දේශීය ජාතික ආදායමෙන් සියයට 70 ක් වු රාජ්‍ය ණය 2019 වනවිට සියයට 85 ක් දක්වා වැඩිවී තිබුණි.

ගෙවීමට තිබු විදේශ ණය ඇතුඵ සියලු ණය වත්මන් රජය ගෙවු බව රාජපක්ෂ මහතා කීවේය. මේ වසරේ සිට වාර්ෂිකව ගෙවීමට ඇති විදේශ ණය සේවා ප්‍රමාණය ඩොලර් මිලියන 4200 කි. වසර 5 ක කාලයක් තුල එක විදුලිබල ව්‍යාපෘතියක්, වැව් හා ජලාශ ඉදිකිරීමක්, ජල සම්පාදන ව්‍යාපෘතියක්, දුම්රිය මාර්ගයක්, අධිවේගී මාර්ගයක් , පාලමක්, නිවාස ව්‍යාපෘතියක්,ආර්ථික කලාපයක්, ධීවර වරායක් හෝ ආයෝජනයකින් නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමක් සිදුවී නොමැත. යහපාලනයේ ගම් පෙරළිය ව්‍යාපෘතියෙන් බලසම්පන්න වු දෙයක් ගමට ලැබී නොමැත. අපනයනය වෙනුවට ආනයනය වැඩි වන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ඩොලර් බිලියන 8 ක පමණ වෙලෙද හිගයක් ඇතිවී තිබේ. පසුගිය රජය ගෙන ගිය අසාර්ථක ආර්ථික හා මුල්‍ය කළමනාකරණ වැඩපිළිවෙල මෙන්ම සැබෑ නිෂ්පාදන ආර්ථිකය වෙනුවට ආනයන මත රඳා පවතින වෙලෙද ආර්ථිකයක් ගොඩනැගීමට ගත් උත්සාහය මෙම ඛේදනීය තත්ත්වයට හේතුව වී තිබේ.

අභියෝග රැසක් මධ්‍යයේ වුවත් උපාධිධාරීන් 60000 වැඩි පිරිසකට රැකියා ලබාදී තිබේ. එමෙන්ම දිළිදුම පවුල් ලක්ෂයක් ඉලක්ක කර ගනිමින් රැකියා දීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි. ඒ යටතේ 40000 රැකියා ලබාදී ඇත. ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2021 අයවැය කථාව මගින් සෞභාග්‍යයේ දැක්ම තුලින් රටට නවීන ආර්ථිකයක් ඇති කිරීමට යෝජනා ඉදිරිපත් කරන බවද අගමැතිවරයා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *