රජය නිමකර ඇති මුදලට වඩා ගාස්තු අයකළ බස්රථ 5 ක මාර්ග බලපත්‍රය අත්හිටුවේ

Share Button

රජය නියම කර තිබෙන මුදලට වඩා මගීන්ගෙන් ගාස්තු අය කරන බස් රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය ඇමති දිදුම් අමුණුගම මහතා පවසයි. මේ වන විට එවැනි බස් රථ 5 ක මාර්ග බලපත්‍රය අත්හිටුවා තිබේ. වැඩිපුර ගාස්තු අය කරන හා ප්‍රවේශපත් නොදෙන බස්රථ වැටලීම සඳහා ගමනාගමන කොමිසන් සභාව වෙනම කණ්ඩායමක් යොදවා තිබේ. මේ සඳහා මගීන්ට 119 හෝ 1995 දුරකථන මගින් අදාළ ආයතන දැනුවත් කළ හැකිය. මීට අමතරව බෑඩ් බස් නමැති යෙදවුමෙන් ද පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. බස් රථයේ අංකය හා ගමන් ගන්නා මාර්ගය ක්ෂණිකව දන්වන්නේ නම් වහා ක්‍රියාත්මක වන බව රාජ්‍ය ඇමතිවරයා මහනුවරදී ඊයේ පැවසීය.
මේ අතර පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පළත් දුම්රිය නැවතුම්පළත් ආශ්‍රිතව විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව කොළඹට පැමිණෙන හා කොළඹින් පිටත්වන පොදු ප්‍රවාහන සේවා හුදෙකලා කළ ප්‍රදේශවලින් මගීන් නංවා ගැනීම හෝ බැස්සවීම කිසිසේත් නොකළ යුතුය. යම් පුද්ගලයෙකුට පිට පළාතක සිට පිටකොටුවට පැමිණ එතැන් සිට වෙනත් ගමනාන්තයක් දක්වා ගමන් කිරීමේ කිසිදු බාධාවක් නොමැත. හුදෙකලා කර ඇති ප්‍රදේශවල වෙළෙූඳසැල් විවෘත කිරීම ද තහනම්ය. ජනතාවට අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම මීට පෙර අවස්ථාවලදී සිදුවූ ආකාරයට සිදු කෙරේ. හුදෙකලා කළ ප්‍රදේශවල මාධ්‍ය ආයතන. වරාය. බලශක්ති අංශවලට අදාළ ආයතන පවතී නම් ඒවා පවත්වාගෙන යා හැකිය. එම ආයතනවල රාජකාරී සඳහා පැමිණෙන සේවකයින් කොටුව දුම්රියපොලට හෝ බස් නැවතුම්පළට පැමිණෙන්නේ නම් ආයතනයේ ප්‍රවාහන මාධ්‍යයකින් ආයතන වෙත රැගෙන යන්නැයි නියෝජ්‍ය පොල්ස්පතිවරයා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *