අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන ජනවාරි 18 වැනිදා ආරම්භ කිරීමට සැලසුම්

Share Button

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් කල්දැමුනු අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන ජනවාරි 18 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එහෙත් බස්නාහිර පළාතේ හා හුදෙකලා කළ පොලිස් වසම්වල දරුවන්ට පාසල් ආරම්භ කිරීම පමා වන බැවින් විභාග දින සංශෝධනය කිරීමට සිදුවේද යන්න ඉදිරි දෙසතිය තුළ තීරණය කරන බවද අධ්‍යාපන ඇමතිවරයා කියයි. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර අදාල ප්‍රදේශවල 11 වැනි ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් හෝ පාසල් ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳ තීරණය ඉදිරි දෙසතිය තුළ ගැනීමට නියමිතයි. පාසල් ආරම්භ කිරීමත් සමග සිසුන් ප්‍රවාහනය කිරීම සදහා ගන්නා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රවාහන අංශ සමග සාකච්ඡාකර ඉදිරි දින කිහිපය තුළ අවසන් තීරණයකට එලඹිමට අපේක්ෂා කෙරේ.

බස්නාහිර පළාතේ හැර සෙසු පළාත්වල තුන්වන පාසල් වාරය ලබන සදුදා ආරම්භ කෙරේ. එහෙත් 01 වැනි ශ්‍රේණියේ සිට 05 වැනි ශ්‍රේණිය දක්වා දරුවන් සදහා පාසල් විවෘත නොකෙරෙන අතර 06 වන ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සිසුන් සදහා පමණක් පාසල් ආරම්භ කෙරෙනු ඇත. බස්නාහිර පළාතින් බැහැර සෙසු පළාත්වල ද දැනට හුදෙකලා කර ඇති පොලිස් වසම්වල පාසල් සදුදා විවෘත නොකෙරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. දුරස්ථ භාවය ආරක්ෂා කරමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් පැවැත්වීමේ පසුබිම විදුහල්පතිවරුන් සකසා ගත යුතු බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමති මහාචාර්‍ය ජී. එල්. පීරිස් මහතා කියයි. ඒ සදහා විදුහල්පතිවරුන් ප්‍රාදේශිය මහජන සෞඛ්‍ය නිලධාරි ග්‍රාම සේවා නිලධාරි  පාසල් සංවර්ධන සමිති නියෝජිතයෙකු හා ආදි ශිෂ්‍ය නියෝජිතයෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කරගත යුතුය. කමිටු නිර්දේශ අදාල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත යොමු කිරීම අවශ්‍ය වෙයි. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරියේදී චක්‍රලේඛයක් නිකුත් කරනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *