ශ්‍රී ලංකාවට අවශ්‍ය ආයෝජන මිස ණය නොවන බව ජනාධිපතිතුමා චීන තානාපතිවරයා හමුවේ පවසයි

Share Button

ශ්‍රී ලංකාවට පත්ව සිටින චීන මහජන සමුහාණ්ඩුවේ නව තානාපති ක්ව් සෙන්හොං මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ සිය අක්තපත්‍ර පිළිගැන්වීය. එහිදී ඔහු සමග කෙටි පිළිසදරක නිරතවු ජනාධිපතිතුමා බෙදුම්වාදයට එරෙහි සටන ජය ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනයෙන් ලැබුනු සහාය සිහිපත් කළේය. ශ්‍රී ලංකාව සිය සංවර්ධන ප්‍රයත්නයේදී විදේශ ණය ගැනීම වෙනුවට ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ප්‍රමුඛත්වයක්දී ඇතැයි එතුමා එහිදී පැවසීය. ශ්‍රී ලංකාවේ පුඵල් ආයෝජන ඉඩප්‍රස්ථා පවති. කෘෂිකර්මය සන්නිවේදන තාක්ෂණය අධ්‍යාපනය යන ක්‍ෂේත්‍ර ඒ අතර ප්‍රධාන වෙයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 30 ක ජීවනෝපාය පදනම්ව ඇත්තේ ග්‍රාමීය කෘෂිකර්මය මත බව පෙන්වාදුන් ජනාධිපතිතුමා ගෙවිගිය දශක කිහිපය තුළ චීනය අත්කරගත් ආකාරයේ ග්‍රාමීය සංවර්ධනයක් ශ්‍රී ලංකාවේ ඇති කර ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නැංවීම තම ප්‍රධාන ඉලක්කයක් බව සදහන් කළේය. ඒ සදහා සහාය දෙන්නැයි එතුමා චීන තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට උපරීම දායකත්වය සැපයීමට චීන රජය සුදානම් බව තානාපතිවරයා එහිදී පැවසීය. ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් දේශයක් ලෙස නැගි සිටිනු දැකීම චීනයේ අභිලාශය බවද ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *