අයවැයෙන් ඉදිරිපත් කළ සංවර්ධන යෝජනා ඵලදායීව ගමට ගෙනයාමේ වැඩසටහන ඇරඹේ

Share Button

ගම සමග පිළිසඳර වැඩසටහන ඔස්සේ අයවැයෙන් ඉදිරිපත් කළ සංවර්ධන යෝජනා වඩාත් ඵලදායිව ගමට ගෙනයාමට වැඩ සමග යළි ගමට වැඩසටහන ඇරඹේ. ඒ යටතේ අයවැය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් පැවැත්වෙන රැස්වීම් මාලාව ලබන මස 14 වැනිදා දකුණු පළාතෙන් ආරම්භ කෙරේ. ආර්ථික පුනර්ජීවනය හා ද්‍රරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් හා එම අමාත්‍යංශවල ලේකම්වරුන් අතර කොළඹ පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කෙරින. 2021 අයවැය තනි පුද්ගලයෙකුගේ අයවැයක් නොව රාජ්‍ය හා පුද්ගලික අංශයත්, ප්‍රජා සංවිධානත් සමග දීර්ඝ කාලයක් සාකච්ඡා කර රටේ සංවර්ධනය හා අනාගතය සම්බන්ධයෙන් නිවැරදි තීන්දු රැසක් ගත් අයවැයක් බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.මෙවර අයැවයෙන් ඉදිරිපත් කර ඇති සංවර්ධන යෝජනා ගම් මට්ටමින් ජනතාවට ගෙනයාමේ අවශ්‍යතාව හෙතෙම අවධාරණය කළේය. ගමේ අවශ්‍යතා ප්‍රාදේශිය මට්ටමට ඉදිරිපත් කර ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ අනුමැතියෙන් අමාත්‍යංශ කරා ගෙන එන විධිමත් ක්‍රමවේදයක් සකස්කර ලේඛණගතකර සමාජ ගතකිරීමේ අවශ්‍යතාව පවති. ජනාධිපති කාර්යසාධක බලකාය ලබන මස 14 වැනිදා සිට 19 වැනිදා දක්වා පළාත් මට්ටමින් පවත්වන රැස්වීම්වලදී නිලධාරින් දේශපාලන අධිකාරිය හා මහජනතාව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බැවින් එම ක්‍රමවේදය නොපමාව සකස්කර කාර්ය සාධක බලකායට ඉදිරිපත් කරන ලෙස රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. විදේශ ණය සහ ආධාර පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් සෘජු විදේශ ආයෝජන අවස්ථා රටට ලබා ගැනීමට මෙවර අයවැයෙන් අපේක්ෂා කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. රජයක් ලෙස දේශපාලන ස්ථාවරයක් පවතින බව හෙතෙම සදහන් කළේය. අදාල අංශ සමග සාකච්ඡා කර ලබන වසර වනවිට සංචාරක කර්මාන්තය යථාතත්ත්වයට ගෙනඑන බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේ දී අදත් පැවැත්වුණි. ඉඩම් ධීවර හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශවල සහ රාජ්‍ය අමාත්‍යංශ පහක කාරක සභා අවස්ථා විවාදය අද පැවැත්වුණි.
ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කරන බව විවාදයට එක්වෙමින් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය. එමගින් ඉඩම් පරිහරණය සුරක්ෂිත කිරීමටත් ඉඩම් ලබාදීමේදී මතුවන ගැටඵ සහගත තත්ත්ව අවම කිරීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය. ඉඩම් නඩු අඩු කිරීම සදහා ඉඩම් සමථ මණ්ඩල ඇති කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජනතාවට ප්‍රතිඵල පෙන්විය හැකි අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි
ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමේ ජනාධිපතිතුමාගේ දැක්ම යථාර්ථයක් කිරීමේ වැඩපිළිවෙල මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය. ජනතාවට ප්‍රතිඵල පෙන්විය හැකි අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇතැයි ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසුවේ තේ නැවත වගා කිරීමට ලබාදෙන ආධාර මුදල වැඩි කරන බවයි.පැළ තවාන් 500 යේ වැඩසටහනින් තේ පැළ මිලියන 50 ක් ලබාදෙන බව ඔහු සදහන් කළේය.රබර් වගාකරුවන් දිරිගැන්වීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

ධිවර කර්මාන්තය ජාතික සම්පතක් බැවින් පාරිභෝගිකයා සහ ධිවර ප්‍රජාව වෙනුවෙන් එය රැකගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි දුලීප් වෙදආරච්චි මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් පුෂ්පකුමාර මහතා ඉල්ලා සිටියේ උක්ගස් සදහා ගෙවන මිල වැඩි කරන ලෙසයි. ඉන්දිය ධිවරයින් මෙරට මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත කොල්ලකෑම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිරෝෂන් පෙරේරා මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *