ආරක්‍ෂක අංශ විමර්ශන සිදුකළේ සහරාන් හෂීම් 2020 සැලසුම් කර තිබු ප්‍රහාරය වැළැක්වීමට බව ශානී අබේසේකර කියයි

Share Button

රිමාන්ඩ් භාරයේ සිට මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානී අබේසේකර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ අද දෙවන දිනටත් සාක්‍ෂි දුන්නේය. වනාතවිල්ලුව. ලැක්ටොවත්ත ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් සොයා නොගත්තේ නම් මුලු රටම ලේ විලක්වීමට ඉඩ තිබු බව ඔහු පැවසීය. එම මෙහෙයුම සාර්ථක වු බවත් ඊට කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවු බවත් හෙතෙම සඳහන් කළේය.

ලැක්ටොවත්ත පුපුරණ ද්‍රව්‍ය ගබඩාව සහ මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීම පිටුපස සිටින්නේ එකම කණ්ඩායමක් බව පාස්කු ප්‍රහාරයට පෙර අනාවරණ කර ගැනීමට අපරාධ පරිීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හැකි වු බව ශානි අබේසේකර මහතා පැවසීය. මේ පිළිබඳ ආරක්‍ෂක කවුන්සිලයේදී සාකච්ඡා කරන ලෙස එවකට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කළ බවද ඔහු සදහන් කළේය. ඒ පිළිබඳ සාකච්ඡා කරන බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ආරක්‍ෂක කවුන්සිලයට නොකැදවු බවත් ඔහු කැදවුයේ නම් මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් කිරීමට හැකියාව තිබු බවත් ශානී අබේසේකර මහතා පැවසීය. එසේ වුවානම් ඒ පිළිබඳ වැදගත් කරුණු රාශියක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි ඔහු සඳහන් කළේය. සහරාන් ඇතුඵ පිරිස ත්‍රිමා නැමැති යෙදවුම ඔස්සේ දුරකථන සංවාදවල නිරතවීම හේතුවෙන් ඔවුන් සිටි ස්ථාන නිවැරදිව නිශ්චය කරගැනීමට නොහැකි වු බවද හෙතෙම අනාවරණ කළේය. 2020 වසරේ මැයි මාසයේ රටේ විශාල පිපිරීමක් සිදුකිරීමට සහරාන් හෂීම් සැලසුම් කර තිබු බව අනාවරණ වීම හේතුවෙන් එම කණ්ඩායම පිළීබඳ අඛණ්ඩ විමර්ශන සිදුකළ බව ශානි අබේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *