අඩුවන වැඩිවන ඉන්ධන මිල

Share Button

(නදීරා අමරසිංහ)

 

භාණ්ඩ , සේවා නිෂ්පාදනයේ දී කුමක් කොපමණ  කෙලෙසක, කා සඳහා නිපදවනවාද?  යන මූලික ආර්ථික ප්‍රශ්න බලපානු ලබයි. ලොව වඩාත්ම ක්‍රියාශිලීව වෙළදාම් කරනු ලබන වෙළඳ භාණ්ඩ අතරින් බොරතෙල් ප්‍රමුඛස්ථානයක්  දරයි.ගෝලීය වෙළඳපොළ හැසිරීම කෙරේ අවධානය යොමු කළ විට ලොව පුරා වැඩි වශයෙන් භාවිත කරන වෙළඳ භාණ්ඩ අතරින් ඉන්ධන ප්‍රධාන තැනක් ගනියි.

ලෝක තෙල් සැපයුමෙන් 81.89%ක් සපුරාලනු ලබන්නේ Opec  ( Organization of the petroleum exporting  countries) සංවිධානයයි. 2017 වර්ෂයේ දී  සංඛ්‍යාත්මකව සලකා බැලුවිට  තෙල් බැරල් බිලියන  1,214.21 ක ප්‍රමාණයක් එම සංවිධානය විසින් අලෙවි කර තිබේ.  OPEC සංවිධානය යනු ලොව පුරා බොරතෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල් එකතුවෙන් නිර්මිත සංවිධානයයි.

OPEC සංවිධානය 1960 වර්ෂයේ දී බැග්ඩෑඩ් නුවර දී පිහිටුවන ලද්දේ ඉරානය, ඉරාකය, කුවේට්, සවුදි අරාබිය හා වෙනුසියුලාව යන රටවල ප්‍රමුඛත්වයෙනි. ඉන් අනතුරුව ඇල්ජීරියාව, ඇන්ගෝලාව, ඉක්වාදෝර්, ගයනාව, ගාබෝන්, ලිබියාව, නයිජීරියාව, කටාර්, කොංගෝ, එක්සත් අරාබි  එමීර් රාජධානිය, හා ඉන්දුනීසියාව යන රටවල් ද  OPEC සංවිධානයේ සමාජිකත්වය ලබා ගන්නා ලදී.

OPEC සංවිධානය සැබවින්ම බලශක්ති වෙළඳපොළේ දැවැන්තයා වේ. ඔවුන්ගේ හැසිරීම ඉන්ධන මිල තීරණය කිරීම පිණිස ඍජුවම බලපානු ලබයි.

ලෝක වෙළඳපොළ තෙල් බැරලයක සාමාන්‍ය මිල අමෙරිකානු ඩොලර් 70ක මට්ටමින් පවත්වා ගනු පිණිස ඔපෙක් සංවිධානය විසින් කොතරම් ඉල්ලුමක් පැවතියත් සීමිත සැපයුමක් ලබා දීමට කටයුතු කරයි.

ස්වභාවික හා මිනිසුන් විසින් සිදු කරන ලබන ආපදා හේතුවෙන්  තෙල් මිල ඉහළ යන අවස්ථා තිබේ.

ඉන්ධන මිල ඉහළ යෑමට හේතුවන විවිධ කරුණු අතරින් පොදුවේ ඊට බලපානු ලබන කරුණු කිහිපයකි.

  1. ඍතු භේදය.
  2. කාලගුණ තත්ත්වය.
  3. ඉල්ලුම ඉහළ යෑම.
  4. ගෝලීය සංචිත තත්ත්වයන් හා නිෂ්පාදන තත්ත්වයන්.
  5. පිරිපහදු සීමා.
  6. ඩොලරයේ මිල ඉහළ – පහළ යෑම.

ඉන්ධන අතරින් පෙට්‍රල් මිල සකස්වීම පිණිස බළපාන සාධක කිහිපයකි.

  1. ඛනිජ තෙල් අමුද්‍රව්‍ය මිල.
  2. ඉල්ලුම ඉහළ යාම.
  3. ඉල්ලුම හා සැපයුම අතර පවතින පරතරය.
  4. බදු

 

බොරතෙල් මිල වෙනස්වීම අනෙකුත් ඉන්ධන මිල ගණන් වෙනස් වීමට ඍජුව බළපානු ලබයි. වෙළඳපොළේ ඉන්ධන සඳහා පවතින ඉල්ලුම හා සැපයුම තීරණය වීමට එයද ප්‍රධාන සාධකයක්වේ. මේ අනුව,

  •  භූගෝලීය සාධක .
  • කාලගුණික හා දේශගුණික විපර්යාස.
  • පිරිපහදු කරන ලද ඉන්ධන මිලදී ගන්නා ප්‍රතිශතය.
  • OPEC සංවිධානය මඟින් සිදුකරන මිල ගණන් ඉහළ නැංවීම.
  • විකිණීම් හා මිල දී ගැනීම් ප්‍රතිශතය.
  • නැගී එන ආර්ථිකය තුළ පවත්නා ඉන්ධන පරිභෝජන රටා.

යන සාධක මත පදනම්ව ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල තීරණය වේ.

ඉහල සාධක දෙස අවධානය යොමු කිරීමේ දී ඩොලරයේ අගය තෙල් මිල තීරණය කිරීම සඳහා බලපාන ප්‍රබල කරුණක් බව පැහැදිලි වේ. ලොව පුරා බොහෝ තෙල් ගණුදෙනු සිදුවන්නේ ඩොලර් මඟිනි. ඩොලරයේ මිල පහත වැටෙන විට එහි ප්‍රතිඵලයක් ලෙස තෙල් නිෂ්පාදකයන්ට හිමිවන ආදායම පහත වැටේ, නමුත් ඒ හා සමාන්තරව ඔවුන්ගේ නිෂ්පාදන වියදම ඉහළ නඟියි. මෙම කරුණ හේතුවෙන් OPEC ආයතනය සිය ලාභ ආන්තිකය පියවා ගන්නට හා ආනයනික භාණ්ඩ වියදම පියවා ගැනීමට තෙල්මිල ඉහළ නංවන්නට කටයුතු කරයි.

හදිසි ආපදා තත්ත්ව හේතුකොට ගෙන ද තෙල් මිල ඉහළ යයි. 2005 වර්ෂයේ දී ඇතිවු කැත්රිනා (Katrina) කුණාටුව හේතුවෙන් තෙල් මිල ඉහල ගියේය. ඒ අනුව තෙල් බැරලයක මිල ඩොරල් තුනකින් ද ගෑස් ගැලුමක් ඩොලර් 5කට ආසන්නවද ඉහළ ගියේය. එම වසරේම සැප්තැම්බර් 18 වෙනිදා සිට 26 වෙනිදා තෙක් පැවති රීටා (Rita)  කුණාටුව තෙල්මිල ඉහළ යාම කෙරෙහි බළපෑ ස්වභාවික ආපදා තත්ත්වයකි.

එමෙන්ම රටවල් තුළ පවතින අර්බුද තෙල් මිල තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත. 2003 දී ඉරාකය හා ඉරානය අතර ඇතිවු යුද්ධය තෙල් නිෂ්පාදනයට බොහෝ  බළපෑම් එල්ල කළේය. එමෙන්ම 2013 වර්ෂයේ දී ඉරානයේ හෝමුස් සමුද්‍ර සන්ධිය අසල යුධ අභ්‍යාස පවත්වන විට ද තෙල් මිල ඉහළ ගියේය.

එක්සත් ජනපදය හා යුරෝපා සංගමය එක්ව ඉරානයට සම්බාධක පැනවු විටද තෙල් මිල ඉහළ ගියේය. 2011 වර්ෂයේ දී අරාබි වසන්තය හේතුවෙන් ලිබියාව, ඊජිප්පතුව, ටියුනීසියාව ආදී රටවල්වල ඇති වු දේශපාලනික නොසන්සුන්කාරී තත්ත්වය ද තෙල් මිල පහළ යෑම පිණිස හේතුවිය.

ඉන්ධන මිල රටින් රටට වෙනස් වේ. භූගෝලීය පිහිටීම ඒ සඳහා බලපානු  ලබන ප්‍රධාන සාධකයකි. එමෙන්ම අදාළ රටේ පවතින බදු ප්‍රතිපත්ති ඉන්ධන පිරිපහදුව පිණිස යන පිරිවැය, තෙල් බෙදා හැරීමේ ක්‍රමවේද හා පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය යන සාධකද ඍජුව බළපානු ලබයි.

ඉන්දියාව

ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාව ලොව විශාලතම ඉන්ධන පාර්භෝගිකයන් අතුරින් කෙනෙකි. ඉන්දියාවේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ ගතික ඉන්ධන මිල සූත්‍රයකි.  ( Dynamic Fuel Pricing System )  එය පාදක කරගනිමින්  ඉන්දියාවේ පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් තීරණය කරනු ලබයි.

ඉන්දියාවේ පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් තීරණය කිරීම පිණිස පහත සඳහන් සාධක බලපානු ලැබේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල තීරණය වන්නේ  පහත සඳහන් සංරචක භාවිතයෙන් බව ඉන්දීය වෙබ් අඩවියක්වන  bankbazaar.com වෙබ් අඩවය සඳහන් කරයි.

  • බදු    17%      (sales Vat)
  • රේගු කටයුතු 4% (Customs Duty)
  • දේශීය නිෂ්පාදන පිණිස අය කරන බදු 25% (Excise Duty)
  • ඉන්ධන සංරචක 52% (Fuel Component)

ඩීසල් මිල

 

  • දේශීය නිෂ්පාදන බදු 13%  (Excise Duty)
  • ඉන්ධන සංරචක 66% (Fuel Component)
  • බෙදාහරින්නගේ කොමිස් 2% (Dealer Commission)
  • රේගු කටයුතු 7% (Customs Duty)
  • බදු 12%  (Sales Vat)

 

එමෙන්ම මෙම වෙබ් අඩවියට අනුව සෑම දින දාහතරකටම වරක් ඉන්දියාවේ තෙල් මිල වෙනස් වේ. ඒ අනුව ඉන්දියාව සෑම මසකම පළමුවෙනිදා හා 16 වෙනිදා සිය ඉන්ධන මිල ගණන් වෙනස් කිරීමට ලක්කරයි. 2017 ජූලි 16 වෙනිදා සිට මෙය ක්‍රියාත්මකයි.

ඉන්දියාවේ උදායිපූර්, විශාඛපට්ටනම්, චන්දිගාන්ද්, ජම්ගේද්පූර්, පුදුචේරි යන නගර පහ කේන්ද්‍ර කර ගනිමින් මෙය ක්‍රියාත්මකය.

 

අමෙරිකාව

 

අමෙරිකාවේ ද ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ඉන්ධන මිල ගණන් වෙනස් වේ. එමෙන්ම තෙල් මිල තෙල් අලෙවි සමාගමෙන් සමාගමට ද වෙනස් වේ. අමෙරිකාවේ කාලගුණ තත්ත්වය එරටේ තෙල් මිල ඉහළ – පහළ යාමට  ඍජුව බළපානු ලබයි. සීත ඍතුවේ දී නිවාස උණුසුම් කිරීම පිණිස මෙන්ම ගිම්හාන ඍතුවේ දී වායු සමීකරණ සඳහා විදුලිය භාවිත කිරීමට අමෙරිකාවේ වැසියන්ට සිදුවේ.

එමෙන්ම ආන්ත කාලගුණයක දී තෙල් මිල ඉහළ යයි. විශේෂයෙන්ම ආපදා තත්ත්වයන්ගේ බළපෑම හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යන බව අමෙරිකාවේ වෙබ් අඩවියක්වන Business Insider පෙන්වා දෙයි.

අමෙරිකාවේ තෙල් මිල තීරණය වීමට ඉන්ධන පිරිපහදු කිරීමේ, ප්‍රවාහනය කිරීමේ පිරිවැය, නිෂ්පාදන බදු, බෙදා හැරීමේ ගාස්තු ආදිය බලපායි.

තෙල් මිලට 18% බදු ඇතුළත් වේ. 25% ඛනිජ තෙල් පිරිපහදු වියදම් හා ප්‍රවාහනය හා විකිණීම සඳහා වන වියදම් ඇතුළත්වය. ඉතිරි 57% පිරිවැටුම් මඟින් අය කරගනු ලබයි.

 

ජපානය.

 

ජපානය ඉතා සීමිත බලශක්ති ප්‍රභවයන් සහිත රටකි. එහෙත් ජපානය තෙල් පාරිභෝගිකයන් අතර තෙවැනි විශාලතම පාරිභෝගිකයාද වේ. එපමණකින් නොනැවතී ජපානය තෙල් බෙදා හරින්නෙක් ලෙසද කටයුතු කරයි.

ජපානය දිනකට මිලියන 4.5 ක තෙල් බැරල්  ප්‍රමාණයක් භාවිත කරයි.ඉන් 99.7% ක්ම පිටරටින් ආනයනය කළ ඒවා වේ.

ජපානයේ තෙල් සමාගම් හයක් තිබේ. එරටේ තෙල් කර්මාන්තයෙන් වැඩි ප්‍රමාණයක් පාලනය කරනු ලබන්නේ National Oil Corp සමාගම විසිනි. එය ජපන් රජයට අයත් සමාගමක්වන අතර එරටේ විශාලතම තෙල් බෙදාහරිනන් වන්නේ  නිපොන් ඔයිල් සමාගමයි.  (Nippon Oil company ) JX Holding ජපානයේ විශාලතම තෙල් සමාගමයි.

2004 වනවිට ජපානයේ සිය තෙල් අවශ්‍යතාවයෙන් 90% ක්ම ආනයනය කරන ලද්දේ මැදපෙරදිග රටවල් වලිනි.

ජපානය තම රටට ගෙනන Light Diesel චීනය, තායිලන්තය, සිංගප්පූරුව ද භූමිතෙල් එක්සත් ජනපදයට ද බෙදා හරිනු ලබන හෙයින් ඔවුන් සතුව ප්‍රසාරණය වු තෙල් බෙදා හැරීම් ජාලයක් ද පවතියි.

ශ්‍රී ලංකාවේ තෙල් මිල

 

 

 

 

 

 

ශ්‍රී ලංකාවේ දැනට ඉන්ධන සමාගම් දෙකක අලෙවි කටයුතු සිදු කරයි. එනම් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව (Ceypetco)  හා ලංකා ඉන්දියන් ඔයිල් සමාගමයි. (IOC)

1961 අංක 28 දරණ පනතෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ස්ථාපිත කළ අතර 1962 අප්‍රේල් 28 වනදින සිට එහි අලෙවි මෙහෙයුම් ආරම්භ කරන ලදියි. Ceypetco ආයතනය දිවයින පුරා සිටින අලෙවි නියෝජිතයන් 850 දෙනෙක් මඟින් දිවයිනේ ඉන්ධන අවශ්‍යතා පූර්ණ කිරීමට කටයුතු කරයි.

ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සිංගප්පූරුව, ඉන්දියාව, ඕමානය, හා චීනයෙන් තම පරිභෝජනයට අවශ්‍ය තෙල් ආනයනය කරනු ලබයි. මෙලෙස ආනයනය කරනු ලබන තෙල් පිරිපහදු කිරීම පිණිස 1969 අගෝස්තු මස සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ විය . ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් දිනකට බොරතෙල් බැරල් 50,000 ක් පමණ පිරිපහදු කරනු ලබයි.

2018 ජූලි මස 10වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකාවේ දැනය ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් මෙසේය.

 

නිෂ්පාදනය                                          මිල  (රුපියල්)

  1. ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්                             145
  2. ලංකා පෙට්‍රල් ඔක්ටේන් යුරෝ 4                     155
  3. ලංකා ඔටෝ ඩීසල්                                          118
  4. ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් යුරෝ 4                  129
  5. ලංකා භූමිතෙල්                                                70
  6. ලංකා කාර්මික භූමිතෙල්                                  110
  7. ලංකා දැවි තෙල් 800                                      80
  8. ලංකා දැවි තෙල් 1500                                     80
  9. ලංකා දැවි තෙල්  3500                                    80

මෙය ප්‍රවාහන ගාස්තු වෙනස හා දුරස්ථ පළාත් ක්ෂණික මිල සමඟ එකතු වේ.

2005 වර්ෂයේ සිට 2018 දක්වා ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල පහත දැක්වේ. ( අමෙරිකානු ඩොලර්)

 

2005- 2018 කාල සීමාව තුළ ලංකාවේ වාර්තා වු අවම තෙල් මිල 2005 වර්ෂයේ දී වාර්තා විය. එය රුපියල් 74ක් විය.

2013 වර්ෂයේ දී ලංකාවේ පෙට්‍රල් මිල රු. 162 ක් දක්වා ඉහළ ගියේය. එය මෙම කාලය සීමාව තුළ වාර්තා වු ඉහළම අගයයි.

2012 – 2015 කාලය තුළ පෙට්‍රල් සඳහා මෙතෙක් වාර්තා වු ඉහළම මිල වාර්තා විය.

 

වර්ෂය                                               රුපියල්

  • 2012                                                 149
  • 2013                                                 162
  • 2014                                                 157,150
  • 2015                                                 150

2015 දී පෙට්‍රල් මිල රු.117 දක්වා අඩු වු අතර 2017 දක්වා ලංකාවේ පෙට්‍රල් මිල එකම අගයක පවත්වා ගෙන යනු ලැබිණ.

2018 වර්ෂයේ දී ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමඟ නැවතත් රු.137 දක්වා ඉහළ අතර මාස කිහිපය තුළ රු.145 දක්වා වැඩි විය.

 

ඉන්ධන මිල සූත්‍රය

ලෝක වෙළඳපොළ තෙල් මිල ඉහළ යන විට ඊට සාපේක්ෂව ලංකාවේ තෙල් මිල ද ඉහළ නංවයි. එහෙත් තෙල් මිල අඩුවන විට ඊට සාපේක්ෂව තෙල්මිල අඩු නොවීම ගැටළුවක් ලෙස හදුනා ගන්නා ලදියි.

ඊට විසදුමක් ලෙස මුලින්ම තෙල් මිල ගැටළුවේදී තෙල් මිල සෑම මාස දෙකකට වරක් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ දී යෝජනා විය.

ඒ අනුව එලෙස සලකා බලන මාස දෙකේ දෙවන මස පස්වෙනිදා එම සංශෝධනය කිරීමට නියමිත විය.

මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලය සිදු කළ නැවත සාකච්ඡාවලදී සාකච්ඡාවට බඳුන් වු යෝජනාවක් වුයේ ඉන්ධන මිල සතිපතා වෙනස් විය යුතු බවයි.

සතිපතා තෙල් මිල වෙනස් කිරීම ප්‍රායෝගිකව අපහසු කරුණක් බව ඛනිජ තෙල් සංස්ථාව පෙන්වා දුන්නේය.

ඒ අනුව තෙල් මිල මසකට වරක් සංශෝධනය කළ යුතු බවට තීරණය විය.

ලංකාව බොරතෙල් මිලදී ගනු ලබන්නේ සිංගප්පූරුව හරහාය. ඒ හේතුවෙන් මිල සූත්‍රය සකස් කිරීම පිණිස සිංගප්පූරු වෙළඳපොළේ තෙල්මිල ගණන් උපයෝගී කරගනු ලබයි.

ඉන්ධන මිල සූත්‍රය සකස් කිරිමේ දී  මාසයක් තුළ සිංගප්පූරු වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් හැසිරීමේ සාමාන්‍ය මිල හා ශ්‍රී ලංකාව තෙල් මිලදී ගනු ලබන මිලද සැළකිල්ලට ගනියි. එමෙන්ම ඒ සඳහා අදාළ මාසයේ විනිමය අනුපාතයද උපයෝගී කොට ගනියි.

  • සිංගප්පුරු වෙළඳපොළේ ඉන්ධන මිල
  • ශ්‍රී ලංකාව විසින් ඉන්ධන මිල දී ගන්නා මිල
  • විනිමය අනුපාතය

යන සාධක තුනම උපයෝගී කොට ගනිමින් සෑම මසකම 10 වෙනිදා එළඹෙන මාසයේ තෙල් මිල පිළිබඳ අවසන් තීරණයට එළඹේ.

මෙම ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් හා ඩීසල් යන ඉන්ධන මිල පමණක් වෙනස් වීමට ලක්වේ .

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යනවිට පාරිභෝගිකයන් ලෙස එහි අවාසිය දරා ගැනීමත්, ඉන්ධන මිල පහළ යනවිට එහි වාසිය පාරිභෝගිකයාට ලබා ගැනීමත් මෙම මිල සූත්‍රය හරහා සිදුවන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *