අපොස සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹෙයි

Share Button

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹේ. එය අවසන් වන්නේ ලබන මස 10 වැනිදායි. අපේක්ෂකයෝ හයලක්ෂ 22352 දෙනෙක් මෙවර විභාගයට පෙනි සිටිති. ඉන් හාරලක්ෂ 33 දහස් 746 ක් පාසල් අයදුම්කරුවෝ වෙති. දිවයිනපුරා මධ්‍යස්ථාන 4513 කදී විභාගය පැවැත්වේ. විභාගය පැවැ්තවීම සදහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සකස් කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

විභාග අපේක්ෂකයන් විභාගය ආරම්භවීමට පැයකට පෙර විභාග මධ්‍යස්ථානවලට පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ විභාග මධ්‍යස්ථානවල දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද ක්‍රියාත්මකවීම ඊට හේතුවයි. විභාගයට පෙනී සිටින අපේක්ෂකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට පත්වුවහොත් ඒ සදහා පෙර සුදානමක් වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන දෙකක් සකස් කර තිබේ. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුඵ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත අපේක්ෂකයන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව තහවුරු කිරීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි.

විභාගය පැවැත්වෙන කාලසිමාව තුළ ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග සාකච්ඡා කර විශේෂ වැඩපිළීවෙලක් සකස් කර ඇත. ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී සිසුසැරිය බස්රථ සියලු ප්‍රදේශ ආවරණය වනපරිදි ධාවනය කළ යුතු බවයි. එම බස්රථ ධාවනය කිරීමේදී කිසිදු පිටස්තර අයෙකු නංවා නොගත යුතුය. ඇතැම් අවස්ථාවල දරුවාගේ දෙමව්පියන්ට එහි ගමන් කළ හැකිය. සෞඛ්‍ය උපදෙස් අනුව සිසුන් ප්‍රවාහනය කෙරේ.

ඇමති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මාසයේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *