නායකයන් නිවැරදි වේලාවට තීරණ ගත යුතුයි – ඇමති දුමින්ද

Share Button

(නදීරා අමරසිංහ)

 

ශ්‍රී ලංකාවේ  ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස 2000 වර්ෂයේ දී පාර්ලිමේන්තුවට පත්වු දුමින්ද දිසානායක මහතා වත්මන් වාරි මාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ කැබිනට් අමාත්‍යවරයි.  පසුගිය කාල වකවානුව තුළ පැවති අධික වර්ෂා සහගත කාලගුණය හේතුවෙන් විපතට පත් වු ජනතාවට සහන සැලසීමේ දී මෙන්ම ආපදා අවම කර ගැනීම සඳහා ද ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් විසින් ඉටුකළ කාර්ය භාර්ය ජනතා පැසසුමට ලක්විය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ  “ ඇමතිතුමාගෙන් අහන්න“ වැඩසටහනට එක් වෙමින් දුමින්ද දිසානායක අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු හා මෙතෙක් සිදු කළ වැඩසටහන්වලින් අත්පත් කර ගත් ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වීය.

ගංවතුර හේතුවෙන් කැළණි ගඟ ආශ්‍රිත ජීවත් වු ජනතාව  ආරක්ෂා කිරීම පිණිස කැළණි ගඟ හරහා වේල්ලක් ඉදිකිරීමට ඇති සූදානම පිළිබඳව එහිදී අසන්නෙක් අමාත්‍යවරයාට  පැනයක් ඉදිරිපත් කරන ලදී. ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා.

“ ඊයෙත් ඔබතුමාලගේ  ප්‍රදේශයේ කිහිප දෙනෙක් අමාත්‍යාංශයට ආවා. මේවන විට අපි ඒ සම්බන්ධව සාකච්ඡා කරමින් යනවා. කැළණි ගඟ පිටාර ගැලීම හා ගංවතුර කියන ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් අපි දැනට යෝජනා කරමින් යනවා. සාකච්ඡා මට්ටම ඉවර වුනාට පස්සේ අපි සියළු දෙනාවම දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා.

වාරි මාර්ග අමාත්‍යාංශය  දීර්ඝ කාලීනව මේ පිළිබඳව සාකච්ඡා කළා. ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරල ණය ආධාර ලබා ගන්නත් බලාපොරොත්තු වෙනවා.

ඉදිරි කාලයේ දී මෙය සිද්ධ වෙනවා. ඒ සියලු සැලසුම් ටික කරල ඉවර වුනාට පස්සේ ඒ අවතැන් වන ජනතාව දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.“

ප්‍ර-   ආපදා කළමනාකරණ අමාත්‍යාංශය භාර ගැනීමෙන් අනතුරුව ඔබතුමා  විසින් “ ආපදාවට පෙර සූදානම“ නමින් සිදුකළ අපදා කළමනාකරණ වැඩපිළිවෙල ඔස්සේ ඇතිවු ආපදා තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාව ලැබිණ නේද?

“ ආපදාවට පෙර සූදානම කියන කාරණයේ දී ඇගයීම් වගේම මම බැනුණුත් අහනවා. උදාහරණයක් විදිහට මල්වතු ඔය පවිත්‍ර කිරීමට පටන් ගත්තා. මේක සමහරු වැරදි විදිහට දකිනවා. චෝදනා කරනවා. වැලිටික ගන්නයි, ගස් ටික කපන්නයි මේක කරන්නෙ කියල. අපට අවශ්‍ය වෙන්නේ ආපදාවක් ඇති වෙන්න කලින් ආපදාව අවම කර ගන්න කටයුතු කරන්න.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය තියෙන්නේ ආපදාවක් උනාට පස්සේ  මිනිස්සු ටික අරන් කඳවුරකට ගෙනි යන්න, කෑම බීම දෙන්න. ඊට පස්සේ වන්දි දෙන්න නෙවෙයි. ඒක තමයි අපේ අවසාන ක්‍රියාව. හැබැයි ආපදා කාළමනාකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානම කාරණය වෙන්න ඕනි ආපදාවක් වෙන්න කලින් කෙහොමද වළක්වා ගන්නෙ කියල. නැත්නම් අවම කරන්නෙ කියල. ඒ සඳහා තමයි අපේ අමාත්‍යාංශයේ සමස්ත අවධානය යොමු කරල තියෙන්නෙ.

විවිධ චෝදනා මැද අපි  මල්වතු ඔය සුද්ද කරනවා. මල්වතු ඔයට වතුර ගලාගෙන යන්න ඉඩ තියෙන්න එපැයි. මේක මුල් තත්ත්වයට පත් කළේ නැත්නම් ජලය ගලා යන්න බාධා ඇති වෙනවා.  අපි ඒ බාධා ඉවත් කළ යුතුයි. උදාහරණයක් විදිහට ගත්තහම සමහර වෙලාවට ගං ඉවුර ගොඩ  වෙනවා. වැලි පිරෙනවා. ගස් හැදෙනවා. ඔය මැද්දේ ගහක් හැදුනොත් ගහද වටින්නේ ඔය ද වටින්නේ?.

ඔයේ වැලි ටික පිරෙනවා. එතකොට අපි ඔය හරි ගඟ හරි සුද්ධ කරන්න ඕනි. මේ දේ කරන්නෙ නැතිව කෙහොමද අපි ගං වතුර පාලනය කරන්නේ. ගං වතුරක් ඇති වුණහම ඒ ජනතාව කඳවුරු ගත කරන්න ඕනි. ඒ අයට කන්න දෙන්න ඕනි. ඒ වගේම ආපදාවට ලක්වුන අය වෙනුවෙන් වන්දි ගෙවන්න ඕනි.ඒ සියල්ලම කරන්න තියෙන්නෙ ආණ්ඩුවට ඒ වගේම ආණ්ඩුවට වගකීමක් තියෙනවා යම් ආපදාවක් සිදුවීමට කලින් එය වළත්වා ගන්න.

යම් විපතක් සිදුවුණාට පස්සේ කලින් තිබුණනෙ මේ ඔය සුද්ධ කරන්න. කලින් තිබුණනෙ මේ වතුර බහින විදිහට සකස් කර ගන්න. මේ බැනුම් යොමු වෙන්නෙත් අපිටයි. අපි ආපදාවට පෙර සූදානම කියල  ගං වතුරක් ඇති වෙන්න කලින් එය වළක්වන්න  නීත්‍යානූකූලව කරන්න  පුළුවන් හැමදේම කරනවා. කඩන් වැටෙන්න තියෙන ගහක අත්තක් කැපීම, ඉවත් කිරීම ඉක්මනින් සිදු කරන්න ඕනි.

කාගෙන්වත් බළපෑමක් එල්ල වෙයි.බනියි, දොස් කියයි කියල බලන් ඉන්න පුළුවන් කමක් නෑ. ගතයුතු තීන්දුව නිවරදි  වේලාවේ ගත්තේ නැත්නම් අපි නායකයොත් නෙවෙයි. ඒ නිසා කොච්චර බැනුම් ඇහුවත් ආපදාවට පෙර සූදානම අපි ක්‍රියාත්මක කරනවා. මල්වතු ඔය විතරක් නෙවෙයි. ගිං ගඟෙත් මාතර කොටසින් පටන් ගන්නවා. ඒ වගේම අනිත් ප්‍රදේශවලත් ගංගාවල යම් බාධාවක් තියේ නම් ඒ බාධා ඉවත් කිරීමට අපි කටයුතු කරනවා.

මෙහිදී සමාජ මාධ්‍ය ඔස්සේ  ශ්‍රාවකයන්ට සිය ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබිණ. අමාත්‍යවරයා විසින් තමන් වෙත සමාජ මාධ්‍ය ඔස්සේ යෙමෙු කළ ප්‍රශ්න සඳහාද පිළිතුරු ලබා දීමට කටයුතු කළේය.

ප්‍ර- වාරි මාර්ග මහා මාර්ග කරන්නත් එපා , මහා මාර්ග කරන්නත් එපා. ( රෝහිත ප්‍රනාන්දු)

රෝහිත කියන්නෙත් මං කියන දේම තමයි. ඇලක් වෙන්න පුළුවන්. ගඟක් වෙන් පුළුවන් , ඒක ඇලක් විදිහට තියන්න. වාරි මාර්ග මහා මාර්ග කරන්න එපා කියන්නෙ ගොඩ කරන්න එපා කියලනෙ. මහා මාර්ග වාරි මාර්ග කරන්න එපා කියන්නේ මොකක්ද? පාර තියෙන්න ඕනි පාර විදිහට. අපි ඉන්නේ ඒ තීන්දුවේ. රෝහිත අපේ ගමනට සුබ පතන කෙනෙක්.

ප්‍ර- වාරි මාර්ග , ජල සම්පත් හා ආපදා කළමනාකරණ කිව්වහම ඔබතුමා වැඩි අවධානය යොමු කරග තියෙන්නේ ආපදා කළමනාකරණයට ද?

“නෑ. දෙපැත්තටම. වාරි මාර්ග ආපදා කළමනාකරණය කියන දෙපැත්තටම අවධානය යොමු කරල තියෙනවා. ආපාදාවක් උනහම තමයි ටී.වී එකේ යන්නේ, ජනතාව කතා කරන්නේ. හැබැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සිදු වෙන්නේ සංවර්ධනාත්මක වැඩනෙ. මේව ගැන කතා වෙන්නෙ නැහැ.“

ප්‍ර- සංවර්ධනාත්මක වැඩ ගැන අවධානයක් නැද්ද? නැත්නම් ජනතාව වැඩි අවධානයක් යොමු කරන්නේ ගොසිප් පැත්තටද?

අද පත්තර, රූපවාහිනිය රේඩියෝ  ගත්තහම කෙහෙද සංවර්ධනයක් දකින්න පුළුවන් වෙන්නෙ. සංවර්ධන පුවත් අද රූපවාහිනියේ යනවද?

ප්‍ර- ඒක රාජ්‍ය මාධ්‍යයේ වරදක් නෙවෙයිද?

රාජ්‍ය මාධ්‍ය  ඔස්සේ ප්‍රචාරණය වෙනවා. රාජ්‍ය මාධ්‍ය රූපවාහිනී නාලිකා දෙක විතරක් නෙවෙයිනෙ මේ රටේ තියෙන්නේ. සමස්ත මාධ්‍යයම මේ රටේ සංවර්ධනය ගැන කියන්න ඕනි. රූපවාහිනිය බැලුවොත්, රේඩියෝ එකක් ඇහුවොත් අපේ හිත දූෂණය වෙනවා.

ඒ වගේම ආපදාවක් උනහම තමයි කට්ටිය කතා කරන්නේ. ගිය අවුරුද්දේ වෙච්ච ආපදාව ගත්තොත් ඒකට ගොඩක් අයිතිකාරයෝ හිටිය. මේ පාර වෙච්ච ආපදාවට අයිතිකාරයො හිටියෙ නැහැ. අපි ක්‍රියාශීලීව බැහැල ඒ ආපදාව අපේ කර ගත්ත. ඒක මාධ්‍ය ආයතනයක ජොබ් එකක් නෙවෙයි. වෙන කාගෙවත් ජොබ් එකක් නෙවෙයි. ඕනි කෙනෙකුට ඒකට උදව් කරන්න පුළුවන්. හැබැයි ඒක අයිති කර ගන්න බෑ. ස්වභාවික විපතක් වුනත් එක එක් කෙනා මේක අයිති කර ගන්නවා. මේ අවුරුද්දේ ආපදාව සිද්ධ වුණා. අපි ඒ ආපදාව භාර ගත්තා. ආපදාවට ක්ෂණික විසදුම් දුන්නා. ඒ ආපදාව දවස් කිහිපයකින් ඉවර වුණා. වෙනද වෙන්නෙ එහෙම නෙවෙයි. ඒක නිසා තමයි ඔබතුමාල ආපදා පැත්ත වැඩියෙන් දකින්නේ.

හැබැයි අපි සංවර්ධනය පැත්තෙන් විශාල සංවර්ධන ව්‍යාපෘති ඒ වගේම ගොවි ජනතාවට ශක්තියක් ලබා දෙන, කෘෂිකර්මාන්තය ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය විශාල වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක කරනවා.

ප්‍ර-සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළත් . ප්‍රචාරණයක් සිදු නොවන නිසා ජනතාව ඒ පිළිබඳව දන්නෙ නැහැ. ඔබතුමා ඊට එකඟද?

යහපාලන කාරණයත් එක්කම අපි යහපත් සිතින් තීන්දු කිහිපයක් ගන්නව. අපේ අමාත්‍යාංශය ගත්තොත් අපි කරන කිසිම වැඩක් ප්‍රචාරණය කරන්න අපිට බජටි එකක් නෑ. පසුගිය ආණ්ඩුව කාලේ අපි ප්‍රචාරණය සඳහා විශාල වියදමක් දරනවා. හැබැයි අපේ ප්‍රචාරණ කටයුතු සඳහා අද වෙන් කරල තියෙන්නේ ඉතාමත් සීමිත මුදලක්.

ගිය අණ්ඩුව කරපු වියදම් එක්ක ප්‍රචාරණය සඳහා වියදම් කිරීම අනවශ්‍ය වියදමක් විදිහට දැක්ක. ඒකෙන්  මං හිතන්නේ පාඩු වෙලා තියෙන්නෙ මේ ආණ්ඩුවටමයි. මොකද මේ රටේ සමහර දේවල් වෙනස් කිරීමේ අවශ්‍යතාවය තිබුණත් ඒව එක රැයින් වෙනස් කරන්න බැහැ. ඒක තමයි අපිට වෙච්ච වැරුද්ද. සමාජය යම් දෙයකට පුරුදු වෙලා ඉන්නවනම් අපිට ඒක එක පාරටම අයින් කරන්න බැහැනෙ.

මේ ආණුඩව ප්‍රචාරණය පිළිබඳ ලොකු අවධානයක් යොමු කරල නැහැ. ගිහින් වැඩ කරනවා. හෙටත් වැඩ කරනවා. අනිද්දත් වැඩ කරනවා. ඒව ජනතාව වෙත ප්‍රචාරණය කරන්න වැඩ පිළිවෙලක් නැහැ. හැබැයි අපි දැන් ඒකෙන් වෙනස් වෙන් ඕනි.“

ප්‍ර- සෙනසුරාදා ඉරිද මාලබේ දවල් වෙනකොට  ප්‍ර‍දේශයට වතුර කපල , රෑ අපි එනකොට වතුර කපල . වැඩට යන අය පිළිබඳව හිතල රෑ 7,8 වෙනකම්වත් වතුර දෙන්න කියල මං  ඉල්ලා සිටිනවා. ( වජිරා විජේසිංහ)

“මේක මගේ අමාත්‍යාංශයට අයත් දෙයක් නෙවෙයි. නමුත් මං සියලු දෙනාටම මතක් කරන්නේ මේ වන විට ජල අර්බුදයක් පැන නැගිල තියෙන්නේ . මොකද පහුගිය අවුරුදු දෙකේදීම කන්න පහක් විතර වර්ෂාව නොමැති කමින් කුඹුරු කරන්න වතුර තිබුනේ නැහැ.  පසුගිය දිනවල අපි සාකච්ඡා කළා අනුරාධපුරය පිළිබඳව අනුරාධපුරයට වෙන තැනකින් වතුර ලබා ගත්තේ නැත්නම් පානීය ජලය ටිකවත් අනුරාධපුරයට සපයා දීමට නොහැති තත්ත්වයතට පත් වෙනවා. මේක කාගේවත් වරදක් නෙවෙයි, ස්වභාවික කාරණයක්.

රටේ පැත්තකට ගංවතුර තිබුණා. ඒ වගේම වහින්න ඕනි පැත්තට වැස්සේ නැහැ. ජලය බොහොම සීමිත සම්පතක් ඒ නිසා අපතේ යවන්නේ නැතිව පරිස්සමින් පාවිච්චි කරන්න ඕනි. ජනතාව ජලය පරිස්සමින් පාවිච්චි කරනවා නම් ආණ්ඩුවට හැකියාවක් තියෙනවා ජනතාවට අවශ්‍ය  වතුර ටික ක්‍රමවත්ව ලබා දෙන්න, අසීමිත සම්පතක් ලෙස සලකලා ජලය විනාශ කළොත්, අපතේ හැරියොත් එය සිදු කරන්න බැහැ.

මේ පිරිස මේ ජල කප්පාදුව නිසා යම් අපහසුතාවකට පත් වෙනවා නම් රවුෆ් හකීම් අමාත්‍යතුමන් සමඟ සාකච්ඡා කරල ජලය කප්පාදු කරන වේලාවල් වෙනස් කිරීමට කටයුතු කරනවා.“

ප්‍ර- ඇමතිතුමනි අපි පදිංචි වෙලා ඉන්නේ වනජීවි අඩවියකට අයත් ප්‍රදේශයක , ජල ප්‍රශ්නයෙන් අපි ගොඩක් පීඩාවට පත්වෙලා ඉන්නේ. වලපනේ ජල සම්පත් මණ්ඩලයෙන් ජලය ලබා ගැනීමට අපි ඉල්ලීම් කළ විට වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ජලය ලබා දීමට නොහැකි බව පැවසුවා.   (වලපනේ අසන්නියක්)

“ඔව් ඔබතුමියගේ දුරකථන අංකය මේ මොහොතේ දීම ලබා දෙන්න. ඒ පිළිබඳ සොයා බලල ගැටළුව නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනවා. අමාත්‍යාංශ ලේකම්තුමන් විසින් ඔබගෙන් මේ සම්බන්ධ වැඩිදුර විස්තර ලබා ගනියි.“

විල්පත්තු වනාන්තරයද වටින්නේ ඒ වනය විනාශ කරල හදන ගෙවල් ටිකද? (අසංක උඩුවන )

“මේක බොහොම ආන්දෝලනාත්මක සිද්ධියක්. මේ ප්‍රදේශයේ සිටින පිරිස කියනවා ඒ අය තමයි මෙහි මුල් පදිංචිකරුවන්, මේ තමන්ගේ උපන් භූමිය කියල. වසර තිහක් තිස්සේ පැවති යුද්ධය හේතුවෙන් මේ අය මෙතනින් ඉවත් වෙනවා. ඉන් අනතුරුව එය රූස්ස කැළැවක් බවට පත් වෙනවා. මේ අය තමන්ගේ උරුමය ඉල්ලා සිටිනවා. අනිත් පැත්තෙන් පරිසරවේදීන් මෙය මහා විනාශයක් බව පෙන්වා දෙනවා.

තිස් වසරක අමිහිරි යුද්ධයත් සමඟ මිනිස්ස් ගම් බිම් අතෑරල යනවා. ඒ යද්දි ඔවුන්ගේ බොහෝ දේ අතහැර දමා යනවා. අපි මේ පිළිබඳව සාකච්ඡා කරමින් යනවා. උරුමයක් නම් මේ උරුමයට හිමි යම් අයිතියක් ඔවුන්ට ලබා දෙන්න ඕනි. ඒ වගේම එහි යම් විනාශයක් සිදු වෙනවා නම් ඒ විනාශය  නවත්වන් ඕනි. “

 

 

 

 

 

 

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11