ශ්‍රිී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ධර්ම දේශකයාණන් වහන්සේ පුහුණු කිරීමේ වැඩසටහනක්

Share Button

ධර්ම සන්නිවේදනය සදහා භික්ෂුන් වහන්සේ පුහුණු කිරීමේ වැඩසටහනක් ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාව ක්‍රියාත්මක කරයි.

ස්වදේශීය සේවය ආගමික අංශය අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ඒකකය එක්ව සංවිධාන කරන මෙම වැඩසටහන මාස 3 ක සහතිකපත්‍ර පාඨමාලාවකි. වයස අවුරුදු 30 ට අඩු පිරිවෙන් අධ්‍යාපන ශ්‍රේණි විභාගය නිම කළ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ මේ සදහා තෝරා ගැනෙති. පළමු කණ්ඩායමට ඇතුලත් කර ගන්නා සංඛ්‍යාව 50 නමකි. මේ පිළිබඳ මුලික සාකච්ඡාවක් ගුවන් විදුලි සංස්ථා ශ්‍රවනාගාරයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පිරිවෙන් උපදේශක පුජ්‍ය දොඩම්පහල රාහුල ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණ.

පිරිවෙන් අධ්‍යක්ෂ පුජ්‍ය වටිනාපහ සෝමානන්ද ස්වාමින් වහන්සේ නාගානන්ද බෞද්ධ විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ ද ඊට එක් වුහ. එහිදී අනුශාසනාවක් කළ පුජ්‍ය දොඩම්පහල රාහුල ස්වාමින් වහන්සේ මීට දශක 3 කට පමණ පෙර ගුවන් විදුලිය මගින් ධර්ම දේශකයාණන් වහන්සේ පුහුණු කළ බව පැවසුහ. දීර්ඝ කාලයක සිට එවැනි පුහුණුවක් නොවු නිසා එවැනි භික්ෂුන් වහන්සේගේ අඩුවක් සමාජය තුල දක්නට ලැබේ. එය සපුරාලීම මෙහි අරමුණ බව උන්වහන්සේ පැවසුහ.

මහාචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ සදහන් කළේ ධර්ම ඥාණය මෙන්ම තාක්ෂණික දැනුම තරුණ භික්ෂුන් වහන්සේට ලබාදීමට මෙමගින් හැකි වන බවයි. සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා පෙන්වා දුන්නේ හොඳ දැනුමක් හා හඩක් සහිත ස්වාමින් වහන්සේගේ හඩ සමාජයට හුරු කළ යුතු බවයි. ඒ අනුව ආගමික දැනුම සන්නිවේදනය කිරීමට පුහුණුවක් ලබාදීම මෙම පාඨමාලාවෙන් අපේක්ෂා කෙරේ. චීනය ජපානය වැනි රටවල් බුදු දහමේ විද්‍යාත්මක න්‍යායන් රටේ දියුණුවට යොදාගෙන ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ සංස්ථා වැඩබලන සභාපති එච්. හේවගේ සහ සිංහල සේවා අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගි වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *