එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා මඟින් කාන්තා ව්‍යවසායකන් බිහිවීමේ වැඩි ප්‍රවණතාවක්

Share Button

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමයේ සංඛ්‍යා ලේඛන මඟින් කාන්තා ව්‍යවසායකන් බිහිවීමේ  ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පිරිමින්ට සාපේක්ෂව  කාන්තාවන් ණය මුදල් ඉතා සකසුරුවම් ලෙස භාවිත කරන බවත්, ණය වාරික නිසි වේලාවට ගෙවීමට වැඩි උනන්දුවක් දක්වන බවද  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඊයේ (19) මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය බැංකු කිහිපයක  එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ තරුණ තරුණියන් රැකියා සොයා ඇමතිවරුන්ගේ කාර්යාල ඉදිරියේ රැදී සිටි යුගය අවසන් කළ යුතුබවයි.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා

“ඇත්තටම දෙන්න දැන් රජයේ රස්සාවල් නෑ. 1000කට පඩි ගෙවන්න පුළුවන් රජයේ ඇතැම් කාර්යාලවල 3000ක් විතර සේවකයන් ඉන්නවා.  ඒ ආයතන කඩා වැටෙන්න මේක හේතුවක්. ශ්‍රී ලංකාවේ රස්සාවල් ඕනෙ තරම් තියෙනවා පෞද්ගලික අංශයේ. මැද පෙරදිග ගිහින් ගන්න වැටුපට වඩා වැඩි වැටුපක් ගන්න පුළුවන් කම්කරු රැකියා මෙහෙ තියෙනවා. නමුත් අපේ අය කරන්න ලැජ්ජයි. මෙහෙ තියෙන සමාගම් දිගින් දිගට ම රැකියා අවස්ථා දෙන්න හැදුවත් භාර ගන්න පිරිස ඉදිරිපත් වෙන්නෙ නැත්තම් අපට සිද්ධ වෙනවා ඒ රස්සාවල්වලට චීනය, ඉන්දියාව සහ මියැන්මාරය වගේ රටවල්වලින් එන කම්කරුවන්ට ඉඩ දෙන්න. ඊට පස්සෙ ඔන්න රටින් කට්ටිය ගෙනාව කියල කෑ ගහන්න එපා.

35 වැඩි අයකට ත්‍රිරොද පදවන්නට හැකි විදියට ගෙනාපු නීතියට මම විරුද්ධයි. මම ඉල්ලීමක් කළා මේක 25 දක්වා අඩු කරන්න කියලත්. කෙනෙකුට රස්සාවක් කරන්න තියෙන අයිතියට අපි ඉඩ දෙන්න ඕනෙ.“

එමෙන්ම ණය ලබා දීමට සීමා නොවී එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ  ව්‍යවාසායකන්ට අවශ්‍ය පුහුණුව ලබා දීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

මාතර කොටුවේගොඩ ලංකා බැංකු ශාඛාවේ  එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා

“මාතර කියල කියන්නෙ ව්‍යාවසායකත්වයට අලුත් ප්‍රදේශයක් නෙවෙයි. මාතර ඒ සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ ජානගත හැකියාවට ලබා දෙන ශක්තිය තමයි එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නෙ.

පසුගියා දා පැවැත්වුණ බැංකු කළමනාකාරවරුන්ගේ රැස්වීමේදී වගේ ම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ රැස්වීමේ දීත් ඔවුන් පොරොන්දු වුණා තරුණ ව්‍යවසායකන්ව පුහුණු කිරීමට අවශ්‍ය සහය දෙන්න ඔවුන්ට හැකි බව. ඒ වගේම තමයි සාම්ප්‍රදායික විදියට බැංකුවකින් ණය දීල පැත්තකට වෙන්නෙ නැතුව ඔවුන්ගේ නව ව්‍යාපාරවල ප්‍රගතිය සොයා බලන්නත් අපි සූදානම්. තව දුරටත් ඉදිරියට එම ව්‍යාපාර දියුණු කරන්න, අඩුපාඩු සකස් කරන්න උපදෙස් ලබා දෙමින් අපේ තරුණ ව්‍යාවාසකයන් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. “

අමාත්‍යවරයා විසින් මාතර උයන්වත්ත මහජන බැංකුව , ලංකා බැංකු අධි ශ්‍රේණි ශාඛාවේ සහ මහජන බැංකුවේ ධර්මපාල මාවත ශාඛවේ ද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටර විවෘත කිරීම සිදු කරන ලදියි.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *