සරු දිවියට කෘෂි සවියක්

Share Button

ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරයයි. බැලු බැලු අත පලා පැහැයෙන් දිදුලන මේ දිවයිනේ ජීවත්වන්නන් කෘෂි කාර්මික දිවි පෙවතකට අනුව ජීවත්වීම මෙවන් විරුදාවලියකින්  අපරට පිදුම් ලබන්නට හේතු පාදක වු එක් කරුණකි.

බස්නාහිර පළාත් කෘෂි කර්ම ,ඉඩම් , වාරි මාර්ග ,ධීවර . සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන අමාත්‍යාංශය විසින් තෙවන වරටත් සංවිධාන කරන කෘෂි කර්ම හා සත්ත්ව පාලන ප්‍රදර්ශනය – 2018  “ සරු දිවියට කෘෂි සවියක්“  සැප්තැම්බර් 6,7,8 යන තෙදින පුරා  පෙ.ව 09.00 සිට රාත්‍රී 07.00 දක්වා  පිටිපන ගබඩාවත්ත දිස්ත්‍රික් කෘෂි කර්ම පුහුණු මධ්‍යස්ථාන භූමියේ දී පැවැත්වේ.

ගාමිණි තිලකසිරි අමාත්‍යතුමන්ගේ සංකල්පයක් මත සිදු කරනු ලබන “සරු දිවියට කෘෂි සවියක්“ ප්‍රදර්ශනය වෙනත් ප්‍රදර්ශනයන්ගෙන් වෙනස් මඟක් ගනිමින් ජනතාවට කෘෂි කර්මය පිළිබඳ  සැබෑ අත්දැකීමක් ලබා දීමේ අරමුණින් පවත්වනු ලැබේ. අමාත්‍යාංශයට අයත් වන කෘෂි කර්ම, ඉඩම්,වාරි මාර්ග, ධීවර, සත්ත්ව නිෂ්පාදන  හා සෞඛ්‍ය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු මඟින් 70 අධික  ප්‍රදර්ශන කුටි සංඛ්‍යාවක් පවත්වා ගනු ලබයි.

මීට අමතරව කෘෂි කර්ම විෂය කේෂ්ත්‍රය හා සම්බන්ධ උපකරණ, යන්ත්‍ර ආදිය වෙනුවෙන් පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි ද පවත්වා ගෙන යනු ලබයි.

කෘෂි කර්ම ක්ෂේත්‍රය හා සම්බන්ධ විවිධ නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින් සඳහා ද මෙම ප්‍රදර්ශනයෙන් හිමිවන වාසි බොහොමයකි. සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට මෙන්ම, ඊට අවැසි වෙළඳපොළ සොයා ගැනීමට ද ඔවුන්ට මෙම ප්‍රදර්ශනය මඟින් අවස්ථාව හිමිවේ.

කෘෂි කර්ම ක්ෂේත්‍රයට අලුතින් සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන්නන්ට මෙන්ම කෘෂි කර්ම ක්ෂේත්‍රයේ නියැලෙන සියළු දෙනාටම මෙම ප්‍රදර්ශනය ඉතාමත් වැදගත් වේ. වගා බිමක් ආරම්භ කිරීම, බෝග වගාව කිරීම, වගා බිමට පලිබෝධ නාශක යෙදීම, වැඩි අස්වැන්නක් ලබා ගැනීම, ගෙවතු වගාව, නාගරික කෘෂි කර්මය, සත්ත්ව නිෂ්පාදනය, වෙළඳ පොළ සපයා ගැනීම මෙන්ම කෘෂි නිෂ්පාදන සිදු කිරීම පිළිබඳව  අවශ්‍ය සියළු තොරතුරු සපයා ගැනීමේ අවස්ථාව මේ ප්‍රදර්ශන නරඹනන් හට හිමි වේ .

වෙනත් කෘෂි ප්‍රදර්ශනයන් හා සසදන කල වෙනස්ම මාවතක් අනුගමනය කරමින්  “සරු දිවියට කෘෂි සවියක් “ ප්‍රදර්ශනය  නරඹන්නන් හට සජීවි අත්දැකීමක් තිළිණ කරනු ලබයි. එහිදී  වෙනත් ප්‍රදර්ශනයන් හිදී මෙන් වෙනත් ස්ථානයක වගා කරන ලද බෝග, පැල ප්‍රදර්ශනය පිණිස නොතබනු ලබයි. බොහෝ කාලයක සිට  ප්‍රදර්ශනය කරනු ලබන බෝග වර්ග ප්‍රදර්ශන භූමියේ වගා කරනු ලබයි. එමෙන්ම සජීවි සතුන් ද ප්‍රදර්ශනය සඳහා වෙන් කර තිබීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

 

පාසල් දරුදැරියන්ට, කෘෂි කර්ම ක්ෂේත්‍රය පිළිබඳ හදාරන්නන්ට, වින්දනය හා විනෝදාස්වාදය වෙනුවෙන් ගෙවතු වගාවේ නිරතවන්නට, සිය විවේක කාලය ඵලදායී ලෙස ගත කිරීමට බලාපොරොත්තු වන ගෘහණියන්ට මෙන්ම විශ්‍රාම සුවයෙන් කල් ගෙවන්නන්ටද කෘෂි කර්ම ක්ෂේත්‍රය පිළිබඳ තොරතුරු ලබා ගන්නට මෙන්ම දැනට පවත්වා ගෙන යනු ලබන වගාවන් වැඩි දියුණු කර ගන්නට , අලුතින් වගාවක් ආරම්භ කිරීමට අවශ්‍ය මාර්ග උපදේශනය ලබා ගන්නට “සරු දිවියට කෘෂි සවියක් “ප්‍රදර්ශනය මහඟු අත්වැලක් බවට පත්වනු නොඅනුමානය. මේ මස 6,7,8 යන තෙදින තුළ “සරු දිවියට කෘෂි සවියක්“ ප්‍රදර්ශන බිමට පිවිසෙන ඔබට නවමු අත්දැකීම් රැසක් අත්විදි පුද්ගලයෙකු වීමේ අවස්ථාව හිමිකරගත හැකිය.

2017  වර්ෂයේ දී කළුතර බෝබුළුවල පැවති කෘෂිකර්ම ප්‍රදර්ශනයේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *