රිටිපන්න ධීවරයා අභියෝග මැදින් සියවස් තුනකට

Share Button

( ප්‍රේමලාල් විජේසිංහ)

 

පිටිපන්න ධීවර කර්මාන්තයේවන  නියුතු ජන කොට්ඨාශයේ ඉතිහාසය සොයා බැලීමේදී එය 18 සියවස තෙක් දිවයයි. එම සියවසේදී ඔවුන් ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිටය. ඉන්දියාවේ සිට වෙළදාම සඳහා පැමිණි ඔවුන් ගන්දර වරායේදී බිලිපිත්ත යොදා මාළු බාද්දී  “ගන්දර රාළහාමි“ යන අය විසින් මෙම පන්න ක්‍රමය අධ්‍යයනය කර දකුණු වෙරළ තීරයේ ධීවර ප්‍රජාවට හඳුන්වා දී තිබේ.

 

ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව ගැන සැළකීමේ දී රිටිපන්න ධීවරයා, ධීවර කර්මාන්තයේ ධරණීය පැවැත්ම තහවුරුකරන්නෙකු ලෙස හැදින්වීම නිවරුදිය. ගොඩබිම සිට වෙරළාසන්න මුහුදු තීරයෙන් වැලිගම, කළුකන්ද, මිදිගම, දේදුව, ගොවියාපාන, අහංගම,කබලාන,අරංගල, කොග්ගල ,දලවැල්ල, යන ස්ථානවල රිටිපන්න ධීවරයා ක්‍රියාත්මක වන අයුරු දැකිය හැකිය. ඉතාමත් සුන්දර පරිසර පද්ධතියක් තුළ රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයා දැකීම පවා මනස්කාන්ත දසුනක් බව පරිසරවේදියෝ පවසති. හිරු බැසයන සන්ධ්‍යා භාගයේ මෙම කර්මාන්තයේ නිරත වන ධීවරයාගේ දසුන කැමරාකරුවන්ගේ නෙතට හසුවන පොදු කැමරා කෝණයක් ලෙස අර්ථ දැක්වීම නිවරුදිය.

රිටිපන්න ධීවරයා එම කර්මාන්ත ක්ෂේත්‍රයෙන් ගත් කළ ඉතා දැනුමැති අයෙකි. ඔහුගේ තාක්ෂණය ඉතා ප්‍රබල එකකි. එය පාරම්පරික දැනුම මිශ්‍ර වුවකි. එම තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ක්‍රියාත්මකවන සම්ප්‍රදායික පන්න ක්‍රමය අද විශාල ගැටළු සමුහයකට මුහුණ පා ඇති කර්මාන්තයකි.

වාණිජ වශයෙන් ඉතා ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් නොකරන රිටිපන්න ධීවර කර්මාන්තයට අලුතින් පත්වන පිරිස අඩුබව ධීවරයෝ පවසති. බොහෝ විචාරකයන් පෙන්වා දෙන්නේ මෙම ධීවර කර්මාන්තය මත්ස්‍ය සම්පතට අයහපත් බළපෑමක් එල්ල නොකරන බැවින් සියවස් දෙකක් පමණ අඛණ්ඩව බාධාවකින් තොරව පැමිණිය බවයි.

දැල් එලීම මඟින් මත්ස්‍ය සම්පත ඉවක් බවත් නොමැතිව විනාශවන බැවින් මෙම රිටි පන්න මාළු බැමේ ක්‍රමය ඉතාම ආරක්ෂාකාරී – පරිසර හිතකාමී එකක් බවට ප්‍රකාශ වී ඇතැයි අපට අනුමාන කළ හැකිය. ධීවරයාද වත්මන් තත්ත්වයන් යටතේ වෙළඳ පොළ ආර්ථීක රටාවට අනුගතවන බැවින් දැල් එලීම වැනි ලාභදායී ධීවර කර්මාන්තය කෙරෙහි ඔහු කැමැත්තක් දක්වා ඇති බව ප්‍රකාශ කල යුතුය. රිටිපන්න ධීවර ක්‍රමය වඩා වැඩදායී ආර්ථික තත්ත්වයක් වෙත ළඟාවෙනවාට වඩා සාම්ප්‍රදායික පරිසර හිතකාමී මාළු බෑමකට ධීවරයා කැමැත්තක් දක්වන බව පැවසිය යුතුව තිබේ. කටුක, අමිහිරි, වේදනාකාරී මෙම වෘත්තියේ වත්මන් පරපුර නොයෙදෙන බැවින් අනාගතයේ දී විදේශිකයන්ගේ ඡායාරූපවලට පමණක් මෙය සීමා විය හැකිය.

රිටිපන්න ධීවරයාට වසර පුරාම මත්ස්‍ය අස්වැන්න ලබාගත හැකිවීම විශේෂත්වයකි. ධීවර කර්මාන්තයේ තිරසාර පැවැත්ම තහවුරු කරන මව් මත්ස්‍ය ගහණයේ පැවැත්ම යම් ප්‍රමාණයකින් හෝ ආරක්ෂා කරනු ලබන්නේ රිටිපන්න ධීවර කර්මාන්තයෙනි. මත්ස්‍යයන් රංචු වශයෙන් පැමිණෙන ස්ථානවල කාල වේලාව ධීවරයන් තම අත්දැකීම් වලින් දැන හඳුනා ගෙන ඇත්තේ කාලයක් එම ක්ෂේත්‍රයේ නියැලීමෙනි.

මීටර් 04 ප්‍රමාණයේ ගැඹුරකින් යුත් මුහුදේ කොරල්පර ආශ්‍රිත ගල්වැටි මෙම කර්මාන්තය සඳහා යොදා ගැනේ. ඉතා කෙටි කාලයක් තුළ මෙම රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයා පෙරවරු5.30 සිට පස්වරු 5.00 .ත් 6.00 ත් අතර වැඩි වශයෙන් රැකියාවේ නිරතවනු දැකිය හැකිය.

කොට්ටම්බා, ඇට්ටෝනි, කඳුරු, දැව කිරල වැනි ඇට වර්ග රිට සඳහා යොදා ගැනේ.  කාණුව දෑතින් අල්ලා ගැනීමට හැකි ප්‍රමාණයක් ඇති  ඍජු රිටක් මෙම දැව වර්ග වලින් සකස් කෙරේ. තියුණු ලෙස උල්කර කොරල්පරවල ඇති සිදුරුවලට තබා  සෙ.මී 5-8 ත් ගැඹුරට සිටවා වටේට ගල්පතුරු තබා ශක්තිමත්ව සවි කිරීම මෙහිදී සිදුවේ. මෙම රිටෙහි පොත්ත නොගලවා සවි කිරීමට ධීවරයන් පුරුදු වී සිටින්නේ රිටෙහි දිය සෙවල බැඳීම නිසා මත්ස්‍යයන් එම රිට ආසන්නයට පැමිණෙන හෙයිනි. දිය සෙවල කෑමට පැමිණෙන මාළුවා රිටිපන්න ධීවරයාගේ බිලී පිත්තට ඉතා ලේසියෙන් කොටුවන බව එම ධීවරයා දනී. රිට ශුද්ධ කළ විට දිය සෙවල බැදීම අවම වන බව ධීවරයෝ පවසති.

දැඩි රළ පහරට ඔරොත්තු දෙන ලෙසත්, කාලයක් තිබෙන ලෙසත් රිට සවි කර ගැනීම අත්දැකීම් ඇති ධීවරයාගේ වගකීමයි.

රිට මුහුදෙහි සවි කිරීම සිදු වන්නේ හැන්දෑයාමයේදීයි. පාරම්පරිකව තම තමන්ගේ රිටි සවි කරන ප්‍රදේශය කණු ජලය ලෙසත්, හඳුන්වන අතර එය පියාගෙන් බෑණාට උරුම වන බව පැවසේ. බැණාවරුන් නැති ධීවරයා එම වගකීම තම පුතුට පවරා දෙනු ලැබෙයි. කණු ජලය බෑණාට උරුමකර දීම යන්නෙන් වක්‍රාකාරව දෑවැද්ද ලබා දීම යන්න බවටද මතයක් පවතී. සමහරු පවසන්නේ මෙය චාරිත්‍රයක් බවයි.

කණු ජලයේ සිටවන අයුරු.

කරුව සවි කිරීම සඳහා ලී දෙකක් ශක්තිමත්ව, සමාන්තරව තබා ලණු හෝ රෙදිපටිවලින් ගැට ගසා ලී පතුරු දෙක කරුවට සවිකර ගනියි. ඉතාමත් ශක්තිමත් ඇටමිල්ල වැනි ලීයක් හරස්ලීය ලෙස යොදා ගැනේ. ඇතැම්විට කරුවක් සහිත ලීයක් ගැනීම වඩාත් යෝගය බව ඔවුන්ගේ අදහසයි. එවැනි අවස්ථාවක් නොමැති විට ඉතා ශක්තිමත් ලී දෙකක් හරස් ලීය මත බැද ගනියි.

මසුන් ගැවසෙන කාල වේලාව, මාළු වර්ග රංචුවේ ඇති ඝණකම වෙරළේ සිට අවබෝධ කර ගැනීමේ හැකියාව රිටිපන්න ධීවරයාට තිබිය යුතුය. බොහෝ ධීවරයන් අත්දැකීම් බහුල අය නිසා මේ පිළිබඳ අමුතු දැනුමක් ඔවුන්ට අවශ්‍ය නොවේ. කොරලවුරුවන්, කුම්බලාවන්, බොලිලන්, ගොඩයන්, ඇම්පරාවන් සහ කුකුල් මහ වැනි මත්ස්‍යයෝ රිටිපන්නයට නිතර කොටුවන මසුන් වෙති.

 

බිලී කට්ට හදන්නේ මෙහෙමයි.

රිටිපන්නනයට සරිලන විශේෂ බිලීකටුවක් සදා ගැනීමට රිටිපන්න ධීවරයා කැමතිය. මේ සඳහාවන සරල තාක්ෂණ ක්‍රමය ඔවුන් සතුය. දැලි පොත්තද බිලී කටුව සෑදීමේදී අච්චුවක් වශයෙන් යොදා ගැනේ. දැලි පොතු දෙකක් ගෙන ඍජුකෝණාශ්‍රාකාර කුට්ටි දෙකක් සකසා ඔපමට්ටම් කර ඊයම් බිලයේ හැඩය සෑදෙන පරිදි අච්චුවේ ඇතුළත බිලියෙන් සටහනක් හාරා අඳිනු ලැබේ. වානේ කම්බි ඒ මත තබා සුදු ඊයම් කුඩා කොටසක් ගෙන ගින්දරින් රත්කර ගිනියම්වු ඊයම් අච්චුවේ ඇතුළට ගමන් කිරීම සඳහා කුඩා සිදුරක් සාදනු ලබයි. පැය භාගයකින් පමණ අච්චුව ගලවා ගනියි.

මෙම ඊයම් බිලි කටුව එක්තරා රටාවකට සොලවද්දී  මාළුවා එය ඩැගැ ගනියි. මෙසේ බිලියේ පැටලෙන මාළුවා බිලියෙන් ගලවා තම බෑගයට දමා යළි බිලිය ජලයට දැමීමට රිටිපන්න ධීවරයා උත්සුක වෙයි. තත්පර ගණනකදී ඉතා ඉක්මනින් බිලිය සකස් කර ගැනීම ධීවරයාට වාසිය. මත්ස්‍යයන්ගේ වර්ගය හා ප්‍රමාණය අනුව බිලී කටුව වෙනස් වේ.

බිලී පිත්ත සඳහා යොදා ගන්නේ කිතුල් ලීයයි. එය සිහින්ව ඔප දමා සකස් කර ඇත. කිතුල් ගස්වල අතු කඩා ඒවා අව්වේ වේලා ගින්දරින් රත්කර පිත්ත නැවෙන අයුරින් සකස් කර ගනියි. පිත්තක උපරිම දිග මීටර් 02කි. කිතුල් පිත්ත හා බිලී පිත්ත ගැට ගැසීමට යොදන්නේ තංගුස් නූල්ය. අතීතයේ දී මේ සඳහා භාවිත කළේ අන්නාසි කොළයේ කෙඳිය. තිඹිරි ලාටු යොදා පදම් කර එය ශක්තිමත්ව සකසා ගෙන ඇති අතර රිටිපන්න ධීවරයාට ආවේණික වු ශක්තියෙන් , සංස්කෘතියෙන් මෙය සකස් වනු දැකිය හැකිය.

මාළුන්, රිටි අසලට ගෙන්වා ගැනීම සඳහා සීනිගම, දෙවුන්දර දේවාල වලට ගොස් බාර හාර පැවැත්වීමටද ධීවරයා පෙළැඹී තිබේ. මෙහි  ඇත්ත නැත්ත කෙසේ වුවත්ධීවරයා මේ පිළීබඳව දැඩි විශ්වාසයක් තබා තිබේ. යන්ත්‍ර මන්ත්‍ර තොවිල් ආදිය කෙරෙහිද ඔවුන් තබා ඇත්තේ ධීවර කර්මාන්තය මුහුද හා බැදුණු එකක් නිසා බව අපට සිතාගත හැකිය. මාළුන් අඩුවන කාල සීමාවලදී ගල් මැතිරීම වැනි කාර්යයන්ද ධීවරයා අතින් සිදුවෙයි. අවුරුදු මාසය අවසන් වු වහාම රිටිපන්න ධීවර කර්මාන්තයට සරු කාල සීමාවක් ලෙසට විශ්වාසයක් පවතියි.

රිටිපන්නේ යෙදෙන  පිරිස කවුරුන් හෝ වුවද අස්වැන්නේ අයිතිය  කණුජලය අයිතිකරු බවට රීතියත් ඇත. එහෙත් මෙම ක්‍රමවේදය වර්තමානයේ දී ක්‍රියාත්මක වන්නේ අඩු වශයෙනි. මාළු බහුල කාල සීමා වලදී මාළු එකතු කරන්නන් මිල තීරණය කරන බැවින් රිටිපන්න ධීවරයාට ලොකු බළපෑමක් ඇති කිරීමට අද නොහැකි වී ඇත.

රංචු වශයෙන් දැල්වලට හසුවීම නිසා රිටිපන්නය අසළට මාළුන් පැමිණීමේ අඩුවක් පවතියි. බොහෝවිට මුහුදු යාමට අකමැති- නොහැකි වියපත් පිරිසක් ධීවර කර්මාන්තයෙහි නියැලේ.

ආහාරය සඳහාම මෙම කර්මාන්තයේ නියැලෙන වියපත් පිරිසක් අපිට ධීවර ප්‍රදේශවලදී දැකිය හැකිය.

කොරල් විනාශවීම නිසා රිට ගැලවී යන අවස්ථා අද බහුලය. මීට අමතරව රිටිපන්න කර්මාන්තයට බළපාන තවත් ගැටලුවක් නම් රිටි සඳහා දැව යොදා ගැනීමේ අපහසුතාවය සහ සොයා ගත් දැව ප්‍රවාහණය කිරීමේ අපහසුවය.

කෙසේ වුවද ඉතා චිත්තාකර්ෂණීය කර්මාන්තයක් වු මෙය ධීවර කර්මාන්තයේ ආරක්ෂාවට මෙන්ම මත්ස්‍ය ගහණයේ පැවැත්මටද ඉතා තීරණාත්මක එකක් බව පැවසීම අතිශෝක්තියක් නොවේ.

 

 

 

 

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 17:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 178
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 139
නව රෝගීන් සංඛ්‍යාව - 2
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 257
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 34
මරණ සංඛ්‍යාව - 5