අනං මන්නම් නොකියා , පොතක් අරන් කියවන්න

Share Button

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමිය ගිනිය නොහැකි තරම් මිනිසුන්ගෙන් පිරී තිබිණ. විටෙක අනුකම්පා විරහිතව පොළවට පතිතවන සූර්ය රශ්මිය හෝ තවත් විටෙක ඇදහැලෙන මහ වර්ෂාව කියවීම සිය විනෝදාංශය  කරගත් මේ මිනිස්සුන්ගේ කියවීමේ පිපාසය නවතනන්ට සමත් නොවු සේය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් එළඹෙන 30 වෙනිදා තෙක් පවත්වන කොළඹ   ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව පුරා සිටින පොත් කියවන්නට සෙනෙහෙබර නවාතැන්පොළකි.

අලුතින් දොරට වැඩිසේම, දොරට වැඩ බොහෝ කලක් ගත වුවද යලි යලිත් , අලුත්වන පොත් ද , සම්මාන ලැබූ සහ ඊට නිර්දේශ වු පොත්  ආදී එකී නොකී බොහෝ පොත්,  ප්‍රකාශක කුටුවල සිට  අපට ඉඟි කර සිනාසෙයි.

පොතක් අතට ගත් සැණින් මුල් පිටු කිහිපය පෙරළා පොතෙහි රස සිතට දැනී සිටගත්වනම පොත් කියවන්නෝද , නිවස බලා යනතුරුවත් ඉවසුම් නොමැතිව තණ නිල්ල මත වාඩි වී මිලටගත් පොත් කියවන්නද, මේ බිමට පිවිසියෙකුහට නෙත ගැටෙන අනිවාර්ය දසුන්ය.

මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී හොඳම නවකතාවට හිමි සම්මානය දිනූ “ අප්පච්චි ඇවිත්“ නවකතාව පොත් ප්‍රදර්ශනයට පිවිසි බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වු ග්‍රන්ථයකි.

වෙනස්ම නවකතා ශෛලියක් ගන්නා “ අප්පච්චි ඇවිත්“ ශ්‍රී ලංකා ග්‍රන්ථ සාහිත්‍ය තුළ නවතම නවකතා ශානරයක් ස්ථාපිත කිරීමට සමත් වූවක් බව විද්වතුන්ගේ අදහසයි. එහි ලේඛක සමන් වික්‍රමආරච්චි පෙන්වා දෙන්නේ            “ අප්පච්චි ඇවිත්“ නවකතාව න්‍යාය හා ප්‍රබන්ධය අතර පවතින්නක් බවයි. යථාර්ථය විනිවිද දකින මේ නවකතාව ඹස්සේ පුද්ගල ජීවිතයට පියාගේ භූමිකාව කෙබඳු බළපෑමක් එල්ල කරන්නේද යන්න මැනවින් විවරණය කර තිබේ.

2018 හොඳම කෙටි කතාව ලෙස රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලත් “ ගිහින් එන්න කානිවල්“ සුමුදු නිරාගි සෙනවිරත්නගේ නිර්මාණයකි.

දිනෙන් දින වෙනස්වන ආර්ථිකය හමුවේ සමාජය, සංස්කෘතිය හා සාර ධර්ම පරිහානිය කරා ගමන් ගන්නා විට විකෘතිවන සමාජයේ ජීවත්වන තනි තනි පුද්ගලයන් හා ඒ පුද්ගලයන් අවට වෙසෙන්නන්ගේ ජීවන අරගලය ද මේ කෙටි කතා සංග්‍රහයට පාදක වී තිබේ.කෙටිකතාවට හිමි ආකෘතිය මනාව භාවිත කරමින් ජීවන අත්දැකීම් තියුණු හා නිර්මාණාත්මක ලෙස උපයෝගී කර ගනිමින් ලියවුණු ග්‍රන්ථයකි “ ගිහින් එන්න කානිවල්“ .

මානුෂීය යුද්ධයේ මතක ඇතුළත් ග්‍රන්ථ දෙකක් කෙරෙහිද පාඨක අවධානය එල්ල වී ඇති බව හොඳාකාරවම දක්නට ලැබිණ. ඉන් එකක් නම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් ලියූ “ රණමඟ ඹස්සේ නන්දිකඩාල්“ ග්‍රන්ථයයි. අනික නම් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නගොඩ මහතා විසින් රචිත එල්.ටී.ටී.ඊය පරාජය කිරීමේ නාවික හමුදා භූමිකාව පිළිබඳ කියවෙන “ අධිෂ්ඨානය “ ග්‍රන්ථයයි.

ස්වර්ණ පුස්තක, රජත පුස්තක සම්මාන දිනු පොත් පමණක් නොව එහි අවසන් වටයට තේරුණු පොත් ද පාඨකයන්ගේ අත රැදි පොත් මළු තුළ සිනාසෙමින් සිටියහ.

දර්ශන ශම්මි විජේතිලකගේ “ අසනග වැසි“ ජයතිලක කම්මැල්ලවීරගේ “ චක්‍ර“ හා විමල් උදය හපුආරච්චිගේ       “ යකඩ සිල්පර“ ද පද්මිණි සෙනවිරත්න ලියු “ වරණ“ ද ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටයට තේරුණු නවකතාය.

රජත පුස්තක අවසන් වටය සඳහාද තේරුණු කෙටිකතා අතර “සුනෙත් කාන්තගේ ශෝකාන්තය“ කෙටි නතාවේ අයිතිකරු සුදර්ශන සමරවීරය. සුනන්ද ප්‍රේමසිරි ලියු “ මල් බෙරි සමය“ හා ලියනගේ අමරකීර්ති “ අලු පැහැති ආරංචි“ ඒ අතර විය.

නවකතාව , කෙටි කතාව පමණක් නොව කවියටද පොත් ප්‍රදර්ශනයේ දී හිමිව තිබුනේ අනගි වටිනාකමකි. සුනිල් විජේසිරිවර්ධනගේ “ ගිරි මුදුන මගේ නිවහන“ ආරියවංශ රණවීරගේ “තවමත් මල්“ ළහිරු කිතලගමගේ “ කවුළු ඇස පාමුල“ හා රත්න ශ්‍රි විජේසිංහයන්ගේ “වස්සානෙන් පසුව “ එලෙස අසීමිත පාඨක අවධානයට ලක් වු  කවි පොත් අතර ඉහළින්ම බැජඹිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *