2050 වනවිට මාළුන්ටත් වැඩි පොලිතින් මුහුදේ – නියෝජ්‍ය පරිසර ඇමති

Share Button

“ පරිසරය මා රකියි- රකිමි මම පරිසරය“  පරිසරය රැකි නොපවතින්නට මේ මිහිතලය මත කිසිදු ජීවයක් නොපවතිනු ඇත. පරිසරය හා මිනිසා අතර ඇති සබැදියාව ඒ තරමටම වැදගත් වන්නේ , පරිසරය නිසා මිනිසුන් රැකෙන හෙයිනි.  එමෙන්ම පරිසරය රකින්නට මිනිසුන් බිහිනොවන්නේ නම් පරිසරයටද පැවැත්මක් නොමැත.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ  වෙළෙඳ සේවය ඔස්සේ විකාශනයවන “ ඇමතිතුමාගෙන් අහන්න“ වැඩසටහන සඳහා මෙවර (2018/09/27) සහභාගී වුයේ  පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතායි.

වත්මන් දේශපාලඥයන්ට ජනතා මනාපයක් නෑ. ඇයි ඒ?

ඔව් ඇත්ත, 1948 කාලේ ගැන කතා කරනකොට ඒ යුගයේ දී දේශපාලඥයන්ට හොඳ පිලිගැනීමක් ලැබුණ. යමක් කමක් තිබුණ, ඒ වගේම යමක් කමක් නැතත් මිනිස්සුන්ට සේවයක් කරන්න ඕනි කියල දේශපාලනේට ආපු පිරිසක් තමයි ඒ යුගයේ හිටියේ. මිනිස්සු ඒ අයට ගොඩක් ගරු කලා.  ක්‍රම ක්‍රමයෙන් මේක මුදල් හොයන මාර්ගයක් කර ගත්ත, බලය ලැබෙන කොට බලය අනිසි ලෙස භාවිත කරමින්දූෂණ ක්‍රියා සිදු කළා , ජරා ජීරණ වු දේශපාලනය මහින්ද රාජපක්ෂ යුගය වන විට අන්තයටම ජරා ජීර්ණ වුණා.  මහින්ද රාජපක්ෂ මහත්තයා අන්තිම කාලේ කිව්වේ හැමෝගෙම ෆයිල් තියෙනවා මගේ කිහිල්ලේ වැඩිපුර කෑගහන්න ආවොත් එක එක ෆලිය් එක එළියට ගන්නවා කියල.  හොරකම් කරන එක සාමාන්‍ය දෙයක් බවට පත් වුණා.  ඒනිසා මිනිස්සු ඒක පිළිකුල් කළා.

ඒක තමයි 2018. ජනවාරි 8 වනිදා මිනිස්සු තීරණයක් ගත්තේ. “ හාල් සේරු  දෙකක් දෙනවා කිව්වහම අනේ ඒක දෙන්නකො කියල  මිනිස්සු ඒක බලාගෙන ඡන්දෙ දුන්නා. එහෙම නැත්තම් ඇට අටක් දෙනව කිව්ව, පාන් රාත්තල 3.50 ට දෙනව කිව්වහම අනේ ඒක දෙන්නකො කියල මිනිස්සු ඡන්දෙ දුන්නා“ හැම තිස්සෙම බඩ දිහා බලාගෙන තමයි මිනිස්සු කතිරෙ පාවිච්චි කලේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට , කන්න දෙනවද? රස්සාවල් දෙනවද? සංවර්ධනය කරනවද කියල මොකුත් කතා කරන්නෙ නැතිව, යහපාලනය කියන වචනෙට මිනිස්සු ඡන්දෙ දුන්න. ගරුත්වය සහිත මිනිසෙකු දේශපාලඥයෙකු කරනන් ඕනි කියන දේ පිලිඅරන්.

 

අවුරුදු තුනක් ගතවෙලා තියෙනවානෙ යහපාලනයට ඔය කියන දේවල් ඉෂ්ට වෙලා තියෙනවද?

ඔව්, ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ඇමතිවරයෙක් ඉල්ලා අස් වෙන්නෙ. රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා වෙලා හිටිය අවස්ථාව, විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය වැරදි කතාවක් කිව්ව නිසා ඉල්ලා අස්වුණා.  තිලක් මාරපන පොලිස් අමාත්‍යවරයාව සිටිය අවදියේදී වැරදි නඩුවකට ඇවන්ගාඩ් නඩුවට කතා කලා කියල හෙළිදරව් වුණහම ඉල්ලා අස්වුණා. ඒ සංස්කෘතිය අපි නිර්මාණය කළා.

යහපාලනය බලයට පත්වුණාට පස්සෙ , මන්ත්‍රීවරුන් දෙදෙනෙක් කිව්ව 18 වෙනි සංශෝධනයට පක්ෂව අත ඉස්සීම පිළිබඳව ජාතියේ සමාව ඉල්ලනව කියල. ඒ අවධියේ පාර්ලිමේන්තුවේ කටයුතු සිද්ධ වුනේ ජනාධිපතිවරයාට උවමනා විදිහට.

අද වෙනකොට හෘද සාක්ෂියට අනුකූලව මන්ත්‍රීවරුන් කටයුතු කරන්න පටන් අරගෙන තියෙනවා. දැන් සමහර වෙලාවට ආණ්ඩු පක්ෂෙ අමාත්‍යවරයා ආණ්ඩුව විවේචනය කරනවා. ඒකනෙ යහපාලනය කියල අපි බලාපොරොත්තු වුනේ. ජනාධිපතිතුමා , අගමැතිතුමා කියන දේ පවා සාධාරණ ලෙස විවේචනය කරනත්  අවස්ථාව යහපාලනය යටතේ  හිමිවෙලා තියෙනවා. එමඟින් අපි යම්කිසි ප්‍රගතියකට ඇවිත් තියෙනවා.  නමුත් එය සාර්ථක කර ගන්න යම් කාලයක් අවශ්‍යයි. ජරාජීර්ණ දේශපාලනයක නිරත වුණ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් යහපාලන ඇමතිවරුන් පිරිසක් බවට පත් කිරීම එකපාරට කරන්න බැහැ.

ඔබතුමා කියනවා යහපාලනය ස්ථාපිත කරන්න යම් කාලයක් උවමනායි කියල කොච්චර කාලයක් අවශ්‍යද?

ඒක එක එක පුද්ගලයා විසින් තේරුම්කර ගන්න ආකාරයෙන් තමයි ඒක තීරණය වෙන්නෙ. බලන්න තොරතුරු දැනගැනීමේ පනත ස්ථාපිත කිරීමත් සමඟම රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ , වංචා හෙළිදරව් කර ගන්න ලොකු අවස්ථාවක් ලැබුණ. හැබැයි මිනිස්සු කීයෙන් කීදෙනෙක් ඒක ප්‍රයෝජනයට ගන්නවද? මත්තල ගුවන්තොටුපල බලන්න ගියහම ඒකෙ හිටිය නගරාධිපතිවරයා පිස්තෝලයක් අරන් ඇවිත් අපිට ගහල එලෙව්ව.  තාරාතිරමක් නැතිව ඉගෙන ගත්තෙ නැති, සල්ලි නැති, බලයක් නැති පුද්ගලයෙකුට වුනත්, දෙන්න මට මේකේ තොරතුරු කිව්වහම දින 14 ක් ඇතුළත පුරවැසියාට තොරතුරු ලබා දිය යුතුයි කියන නීතිය අපි ගෙනල්ල  තියෙනවා.

 

අමාත්‍යතුමනි ඔබේ අමාත්‍යාංශය පිළිබඳව කතා කරමු.

වෙනත් ජනාධිපතිවරුන් භාර ගත්තෙ මුදල් අමාත්‍යාංශය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, මහින්ද රාජපක්ෂ මහතා භාර ගත්තේ මුදල් අමාත්‍යාංශය . මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යාංශයට වඩා රටේ පරිසරය වැදගත්කොට සලකනවා. ඒ නිසයි එතුමා පරිසර අමාත්‍යාංශය භාර ගත්තේ. පරිසර අමාත්‍යාංශය භාර ගත්තහම මටත් තේරුණා මේ අමාත්‍යාංශය රටේ වැදගත් අමාත්‍යාංශයක් බව. සෑම ජීවිතයක්ම පරිසරය සමඟ බැදිල තියෙනවා. අජිත් මට වෙලාව මදි මේකෙ ලොකු වැඩක් කරන්න තියෙනවා. මං කොයි තැනක කොයි රැස්වීමක හිටියත් , ඔයා එතනය ඇවිත් කතා කරන්න ප්‍රශ්නයක් තිබුනොත්.

මහජනයා ඡන්දෙ දුන්නෙ හොරු අල්ලන්න, හොරු රකින්න නෙවෙයි නේද? (අසන්නෙක්)

ඔබතුමා බොහොම අවංකව හෘද සාක්ෂියට එකඟව කතා කලා. රටේ හොරු ටික රට බේර ගත්ත වීරපුරන්අප්පුල වගේ කුංචනාද කරනවා. ඒක දැක්කහම ජනතාවට ඇතිවන වේදනාව සාධාරණයි. ඇයි ඒ අයට එහෙම හැසිරෙන්න දෙන්නෙ කියන එක ගැන දුකක් වේදනාවක් ඇති වෙනවා.  මානව හිමිකම් කඩකරන රටක් විදිහට ලෝකය පිලි අරන් තිබ්බ රටක් අපේ රට, ඒ නිසාම GSP+ සහනය නැති වුණා. ඒනිසා ප්‍රේමදාස මහතා හදපු ගාමන්ට් 200න් 180 ගාණක්ම වැහුණ. අපේ රටේ බඩු ප්‍රතික්ශේප කළා. අපේ මත්ස්‍ය සම්පත මිලදී ගත්තෙ නැහැ.

අද අපි ලෝකය දිනාගෙන තියෙනවා. ජාත්‍යන්තරේ කීර්ති නාමයක් හිමි කර ගෙන තියෙනවා. මේ හොරුන්ටත් දඬුවම් දෙන්න වෙලා තියෙන්නෙ ලෝකේ අවධානයට පාත්‍රවන විදිහට. ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මකවීම නිසා රටේ අධිකරණ පද්ධතිය පිළිබඳව අවධානය යොමු කළේ නැහැ. ඉතා පැරණි අධිකරණ පද්ධතියක් අපට තියෙන්නෙ. ලන්දේසිකාරයො, ඉංශ්‍රීසිකාරයො හදපු දඬුවම් තමයි දැන් ක්‍රියාත්මක වෙන්නෙ. අධිකරණය ශක්තිමත් කරන්න ඕනි. නඩුවක් අපි ගොනුකළොත් ඒ නඩුවේ තීන්දුව ලබා දෙන්න ගතවන කාලය කොච්චරද කියල ඔබතුමා දන්නවද? අවුරුදු 17 ½ ක්. ඒ කියන්නෙ මං අද මනුෂ්‍ය යෙකුට ගැහුවොත්  මට දඬුවම් හම්බුවෙන්නෙ තව අවුරුදු 17 ½ කින් එතකොට මං සීය කෙනෙක් වෙලා , නැත්නම් මං නැහැ. ඒක වෙනස් කරන්න ඕනි. අපි දැන් ඒක වෙනස් කලා. දැන් එදිනෙදා නඩු අහන අධිකරණයක් අපි හැදුව. එදිනෙදා නඩු අහන පළවෙනි අධිකරණය හෙට අනින්දා ක්‍රියාත්මක වෙනවා. උදේ- රෑ නඩු අහනවා. පහුවෙනිදා නඩුව අහනවා. කල්දාන්නෙ නැහැ. එතකොට දෙවෙනි අධිකරණය තව මාසයකින් ආරම්භ කරනවා. එතකොට ඔය හොරුන්ට නිදැල්ලේ හැසිරෙන්න හම්බු වෙන්නෙ නැහැ.

පාර්ලිමේන්තුවට මැති- ඇමතිවරුන් එන්නෙ නැත්තෙ ඇයි? 

J.R ජයවර්ධන කාලෙන් පස්සෙ පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඊට පස්සෙ තමයි  කට්ටිය නෑවිදින් ඉන්න පටන් ගත්තෙ. ඒකට හේතුව තමයි මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරන්න කමිටු තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුළෙ පවා විවිධ කමිටු පිහිටුවල තියෙනවා. ඇතැම් මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් ඒ කමිටුවලට සහභගී වෙනවා.

අපේ රට තුළ විශාල වශයෙන් ගස් කපනවා. පොලිතින් භාවිත කරනවා. නියෝජ්‍ය පරිසර අමාත්‍යතුමන් ලෙස මේ පිළිබඳව සොයා බලා ඒවා නැවැත්වීමට පියවර ගන්න. ( ගනේමුල්ලෙන්   ස්වාමීන්වහන්සේ නමක්)

පරිසරයට ආදරය කරන මෙවැනි පුද්ගලයන් සිටීම සැබවින්ම සතුටට කරුණක්. ජනාධිපතිතුමා පරිසර අමාත්‍යාංශය තමන්ගේ සුරතට ගන්නෙත් ඒ බලාපොරොත්තුව ඇතිව. ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළ දෙයට තව දෙයක් එකතු කරනවා නම් මුහුදෙත් පොලිතින් තියෙනවා. විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි 2050 වනවිට මුහුදේ සිටින මාළු සංඛ්‍යාවට වඩා මුහුදේ ඇති පොලිතින් කැබලි සංඛ්‍යාව වැඩි වෙනවා.

අපි ඉදිරියේ දී නව නීතියක් හදන්න යනවා, සුපිරි වෙළඳසැල් පවා එය ක්‍රියාත්මක කරන්න සහයෝගය පලකළා. සුපර් මාකර්ට් එකෙන් බඩු ගන්න කොට දෙන පොලිතින් කවරයට රුපියලක් අය කරන්න. ඒ අය කරන මුදලින් අරමුදලක් පිහිටුවන්න.  දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් අපට සහය වෙනවා එය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නීතිමය පසුබිම සකස් කර ගන්න. මෙයින් පරිභෝගික ජනතාවට පොඩි සිහිකැඳවීමක් කරනවා පොලිතින් භාවිත කරන්න එපා කියල.

විනාශ කළ හැකි පොලිතින් භාවිතයට මඟ පෑදුව නේද ඒක සාර්ථකයිද?

ඔව් , සෑහෙන්න සාර්ථකයි. නමුත් යම් යම් අඩුපාඩු තිබෙනවා. අපි ඒ පිළිබඳව සොයා බලනවා. ලංකාවේ බැහැර කරන කුණු වලින් 40%ක්වත් එකතු කිරීමේ හැකියාව ප්‍රාදේශීය සභාවට නැහැ. පරිසර අධිකාරිය රටේම පොලිතින් එකතු කිරීම ප්‍රාදේශීය සභාවට භාර දෙන්නෙ නැතිව අපිත් එකේ වගකීම භාර ගන්නවා. මොඩෙල් පොජෙට් එකක් විදිහට පොලිතින් මිලදී ගන්න මධ්‍යස්ථාන හදන්න කටයුතු කරනවා.

පොලිතින් බෑග් එකක් මිලදී ගන්න කොට රුපියලක් අයකලහම මිනිස්සුන්ට දැනෙනවා. එතකොට තමන්ගේ බෑග් එකක් අරගෙන ඇවිත් අනේ පොලිතින් මල්ල තියා ගන්ප කියල බඩු අරගෙන යනවා. REUSE සමහර පොලිතින් තියෙනවා , නැවත පාවිච්චි කරන්නෙ නැහැ , පොලිතින් කප් එකක් ගත්තොත් එහෙම යෝගට් එක කාල ඒක නැවත භාවිත කරන්නේ නැහැ. පෑනක කාබන් ටික විතරයි අපි පාවිච්චි කරන්නෙ, ඒ වගේ පොලිතින් වැඩි වාර ගණනක් භාවිත කරන්න පුළුවන් ක්‍රමයක් සකස් කරනවා.

RECYCLE උවමනාවට වඩා වැඩි පොලිතින් වලින් ප්ලාස්ටික් සිල්පර කොටයක්, ප්ලාස්ටික් ලයිට් කණුවක් හදන්න බැරිද? ඒක හැමදාම තියෙනවා. ඒවා අලුතින් හදන ප්ලාස්ටික් නෙවෙයි, රටපුරා තියෙන විසි කරපු ප්ලාස්ටික් පොලිතින් තව වැඩකට පාවිච්චි කරල  විධිමත් විදිහට ඉවත් කරන්නේ කොහොමද කියල අපිට බලන්න පුළුවන්.

මගේ අත්දැකීමක් මතක් කරන්නම් , මම ගම්පහ නගරාධිපතිවරයා වෙලා ඉන්න කාලේ කසගහවත්ත අදාහනාගාරය හදන්න අත්තිවාරම් කපනකොට අවුරුදු ගාණක නොදිරපු පොලිතින් හම්බු වුණා.  මිනී පෙට්ටි ආදිය දිරල ගියත් පොලිතින් දිරල ගිහින් නෑ.

පරිසර අමාත්‍යාංශයට වනෝද්‍යාන අයිතිද?

වනෝද්‍යාන අයිති නැහැ. වන රක්ෂණය අයිතියි. පසුගිය කාලේ විල්පත්තුව කපනවා කියන කතාව  පිළිබඳව  හෙව්ව .යුද්දෙ ඉවර වුණාට පස්සෙ මහින්ද රාජපක්ෂ  මැතිතුමා ඒ මිනිස්සුන්ට ඔවුන්ගේ ඉඩකඩම් ටික භාර දුන්නා. යුද්ධෙ ඉවර වුණ ගමන් ඒවායේ ගෙවල් හදල පදිංචි වෙන්න මිනිස්සුන්ට සල්ලි තිබුනේ නැහැ. අවුරුදු ගණනක් යනකොට ඒ ඉඩම්වල කැලේ වැවිල තියෙනවා. පස්සේ මිනිස්සු ඒ ඉඩම් ශුද්ධ කරන එක තමයි කැලේ ශුද්ධ කරනවා කියල  තියෙන්නෙ.  අතිගරු ජනාධිපතිතුමා පැරිස් සමුළුවේදී ප්‍රතිඥාවක් දුන්නා 29% ක්ව කියෙන වනගහණය  32%ක් දක්වා වැඩි කරන බවට. මහවැලි අමාත්‍යාංශයත් සමඟ එකතු වෙලා ක්‍රියාවට නංවන්න කටයුතු කරනවා.  ජාතික වනරෝපා දිනය 03 වෙනිදාට යෙදිල තියෙනවා.

ආර්ථීක අර්බුදයකට පත්වෙලා තියෙන අවස්ථාවක මෙච්චර අමාත්‍ය මණ්ඩලයක් වැඩියි නේද? මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කරන්නේ ඇයි?( අසන්නෙක්)

ඔව් , ඇමතිවරු පැටව් ගැසිම ලොකු ප්‍රශ්නයක්. මේ රටේ මිනිස්සුන්ට ඉතිහාසය අමතකයි. පසුගිය ආණ්ඩුව කාලේ කැබිනට් ඇමතිවරු සීයක් හිටිය. නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු අමතක කරන්න, කැබිනට් ඇමතිවරු සීයක්.

අපි ඒක තිස් ගාණක් දක්වා අඩු කළා , ප්‍රධාන පක්ෂ දෙකක් ආණ්ඩු කරනකොට පත්වන ඇමතිවරු ගණන පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් තීරණය කල යුතුයි. අපි දැන් කැබිනට් ඇමතිවරු ගණන හතලිස් ගාණකට, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් ගණන තිස් ගාණකට බස්සල තියෙනවා.

ඉස්සෙල්ල පොල් ඇමති හිටිහ, වී ඇමති හිටිය , ගහෙන් ගහට ඇමතිවරුන් හිටිය ඒ කාලේ අමතකද? ඩී.එස් සේනානායක  මහතාගේ කාලේ හිටපු ඇමතිවරුන් ගණනට පටස් ගාලා අඩු කරන්න බැහැ, අපි ඒක ක්‍රමානුකූලව අඩු කරමින් යනවා.

දෙවෙනි ප්‍රශ්නෙ මත්තල ගුවන් තොටුපොළට වී ගොඩ ගැසීම . කෝටි 100 ක් පමණ පාඩු විදගෙන ඒවගේම නඩත්තු කටයුතු කරන, ණය ගෙවන , වවුල්ලු ළඟින් මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීම ඔබතුමා හෑල්ලු කරන්නේ ඇයි?  මෙලෝ ගුවන්යානයක් එන්නෙ නැති  මත්තල ගුවන්තොටුපොළට වඩා අපේ ගොවිය අපිට ලොකු නැද්ද?  ලංකා ඉතිහාසයේ වැඩිම වී ප්‍රණයක් මිලදී ගත්තෙ , වැඩිම පොහොර සහනාධාරය දුන්නෙ අපේ ආණ්ඩුව . ගොවියන්ව රැකීම හෑල්ලුවට කරුණක් නෙවෙයි, අභිමානයට කරුණක්.

මොරගහකන්ද ජලාශය හැදුව . ඒ කාලේ ඕක හැදුව නම් තොවිල් නටල, බෙර ගහල, නැටුම් නටල , යන්න බස් දීල සමෘද්ධිලාභීන් ටිකක් හරි බලහත්කාරෙන් අරන් ගිහින් පෙන්නනවා.  ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් අනතුරුව මෙවන් විශාල කෘෂිකර්ම සංවර්ධනයක් කරන්නෙ අපේ ජනාධිපතිතුමා.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්මාන්ත ගොඩ නංවන්න කටයුතු කරල තියෙනවා. 6.5% ක පොලියක් යටතේ ණය ලබ දෙනවා. මහාභාණ්ඩාගාරය මඟින් ඒ පොලිය ගෙවන්න කටයුතු කරල තියෙනවා.

එදා ණය අරගෙන කරපු ව්‍යාපෘති ඔක්කෙම සුදු අලි , නැත්නම් අපි ඒව බලන්න ගියහම අපිට අල්ලගෙන ගහයිද අනේ එකේ හිටපු නගරාධිපති. අපේ වාහන කුඩු කරයිද?

ජනාධිපතිතුමාට දොළ පිදේනි දීල රවට්ටපු හැටි අපි නෙවෙයි ලිව්වෙ නිව්යොක් ටයිම්ස් පුවත්පත. අපි කරපු වැඩ ප්‍රචාරණය කරන්න අපි රටේ මුදල් වියදම් කරල නැහැ. ඒ නිසා මිනිස්සු එව්ව දන්නෙ නැහැ.  ජනතාව බුද්ධිමත් කරන්න ඕනි, ඒකයි තොරතුරු දැනගැනීමේ පනත වගේ පනත් ක්‍රියාත්මක කරන්නේ.

මම ටේලර් ෂොප් එකක් කරන්නේ , බැංකු කිහිපයකට ගියා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ණය ලබා ගන්න හරිම අමාරුයි. (නුවර ලේවැල්ලේ – අසන්නියක්)

ඔබතුමිය ප්‍රශ්නයක් තිබෙන බව පැහැදිලිවම තේරෙනවා. ඔබතුමිය කරන්නේ ටේලර් ෂොප් එකක් නම් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ණය ගන්න එහි අවම වශයෙන් හතර දෙනෙක් වැඩ කරන්න ඕනි. එබතුමියගේ ව්‍යාපාරයේ හතර දෙනෙක් වැඩ කරනවා නම් ඔබතුමිය ඒකට සුදුසුයි.

පසුගිය කාලේ ණය දුන්නේ දෙන්න ඕනි අයට නෙවෙයි, මැෂින් දුන්නේ මහන අයට නෙවෙයි. ඇට දුන්නෙ පැල වෙන එව්ව නෙවෙයි. රටේ සල්ලි නාස්ති කලා . කෘෂිකර්මේ නම් අපි එක්කෙනෙක් දෙන්නෙක් වැඩ කලත් මල් වැවීම, භව භෝග වැවීම සඳහා එක් අයෙක් වැඩ කළත් අපි ණය මුදල් ලබා දෙනවා.

කර්මාන්ත සඳහා තමන් සමඟ අවම වශයෙන් හතර දෙනෙක් වැඩ කරන්න ඕනි.  ඔබතුමියත් සමඟ හතර දෙනෙක් වැඩ කරනවානම් ඔබතුමිය ණය ලබා ගන්න සුදුසුයි. ඒහෙම නම් මගේ දුරකථන අංකයට දන්වන්න මම ඔබතුමියට ඇමතුමක් දෙන්නම්.

රාජ්‍ය නිලාධාරීන් බොහෝ දෙනෙක් කාර්යක්ෂමව වැඩ කරනවා. කිහිප දෙනෙක් වැඩ කටයුතු කරන්නේ තමන්ගේ සාක්කුවෙන් සල්ලි දෙන්න වගේ . ඒ ගැනත් අපි කතා කරන්නම්.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *