යල – මහ අස්වනු සරු කරන මහා වාරි සත්කාරය

Share Button

ලොවක් මවිත කිරීමට සමත් වාරි තාක්ෂණයක් ශ්‍රී ලංකාව සතුයි. එහෙයින්ම ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති ලංකාව ලොව වෙනත් රටවල් වෙතද සහල් අපනයනය කිරීමට සමත්විය . ලෝක සම්මානයට පාත්‍ර වු ශ්‍රී ලාංකේය වාරි තාක්ෂණයේ අපිටම ආවේණික එල්ලංගා වැව් පද්ධතිය මඟින් ගොවිබිමකට අවශ්‍ය ජලය ප්‍රයෝජනයට ගෙන අතිරික්ත ජලය අනිකුත් වැව්වලට බෙදා හැරිණි. එමඟින් ප්‍රදේශය පුරා නිර්මාණය කෙරුණු කුඩා වැව් සමුහයක් ඇළ මාර්ග පද්ධතියක් මඟින් සම්බන්ධ කර ගනිමින් සාමුහිකව ජලය භාවිත කරනු ලැබිණ.ඒ අනුව ඉහළ ප්‍රදේශයේ වැවක ජලය වගා කටයුතු පිණිස යොදාගෙන අතිරික්ත ජලය එම භූමි ප්‍රදේශයට වඩා පහළින් පිහිටි වැවකට ඇළ මාර්ගයකින් ලබා දීම සිදු කෙරේ.

මී ඔය, උමා ඔය, මල්වතු  ඔය, යාන් ඔය, යන ගංගා දෝණි ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත්වන ජනතාව පානීය ජල හිඟයෙන් හා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටිති. මේ හේතුවෙන් වකුගඩු රෝගීන් බහුල වීම, පානීය ජල ගැටළුව, අවදානමට ලක්ව ඇති ගොවීන්ගේ සංඛ්‍යාව යන කරුණු සැළකිල්ලට ගනිමින් වයඹ, උතුරු මැද, නැගෙනහිර හා ඌව යන පළාත්වල පුත්තලම, කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව, මන්නාරම, මොණරාගල, දිස්ත්‍රික්ක ආවරණයවන පරිදි ග්‍රාමීව වැව් 2,400කට දියවර සපයන එල්ලංගා ව්‍යාපෘතියෙන් එම ප්‍රදේශවල පවතින ඉහත ගැටළු මඟ හරවා ගැනීමට අපේක්ෂිතය.

මේ ව්‍යාපෘතිය වෙන් කෙරෙන සමස්ත ආයෝජන මෙසේය.

හරිත දේශගුණ අරමුදල                                                              ඇ. ඩො මිලියන 34.54

ශ්‍රී ලංකා රජය                                                                           ඇ.ඩො මිලියන 14.00

ජපන් රජය මඟින් jiCA ආධාර මත                                            ඇ.ඩො මිලියන 14.00

මෙම එල්ලංගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ වියළි කලාපය තුළ අක්‍රීය වී ඇති වැව් නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව ලැබේ. අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර ඇතිවීම මෙන්ම වර්ෂාපනය නොලැබීමෙන් වගා කිරීමට පානීය ජලය සපයා ගැනීමට නොහැකිවීමෙන් ජනතාව පීඩාවට පත් වේ.

එල්ලංගා වැව් පද්ධතිය වැඩි දියුණු කිරීම තුළින් මෙවැනි දේශගුණික විපර්යාස මඟින් ඇතිවන ව්‍යසන තත්ත්වයන් ඔරෝත්තු දීමේ හැකියාව ඇති වේ. මෙකී කාලගුණික, දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ජල කළමනාකරණ පද්ධති  ඇති කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවේ.

මෙලෙස සංවර්ධනය කෙරෙන ග්‍රාමීය වැව් මඟින් අදාළ දිස්ත්‍රික්කවල පීඩාවට පත්ව ඇති ජනතාව සඳහා පානීය ජලය සැපයීමට හැකියාව ලැබේ. හිඟයකින් තොරව ජනතාවගේ දෛනික හා කෘෂිකාර්මික අවශ්‍යතාවයන්ට අවශ්‍ය ජලය ලබා දීම සඳහා ප්‍රජා ජල සැපයුම් පද්ධති, අධි තාක්ෂණික ජල පද්ධති  හා වැව් ජල ටැංකි ස්ථාපිත කිරීම සිදුවේ.

එමෙන්ම මෙම ප්‍රදේශයවල ගැටළුවක්ව පවතින වකුගඩු රෝගයෙන් පෙලෙන රෝගීන් සිටින ප්‍රදේශ සඳහා සුරක්ෂිත ජල පහසුකම් සැලසීමද මෙහි ප්‍රධාන අරමුණකි.

මෙම අරමුණු ඉටු කර ගැනීම තුළින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කර ගැනීම අපේක්ෂිතය ඒ ඔස්සේ ශ්‍රම ඵලදායීත්වය ඉහළ නංවා ගැනීම, වැඩි ආදායම් ලබා ගැනීම , හා වකුගඩු රෝගීන් අඩු කර ගැනීම යන ප්‍රතිලාභයන්ද අත් කර ගැනීමට හැකිය.

මෙම ගංගා ද්‍රෝණි තුළ කෘෂි කාලගුණ විද්‍යාත්මක නිරීක්ෂණ මධ්‍යස්ථාන 05ක් , ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවන වර්ෂාපතන නිරීක්ෂණ මධ්‍යස්ථාන 10ක් , ජලධාර ප්‍රදේශවල ජල මිනුම් සංවේදක 50 ක් ස්ථාපිත කිරීමට නියමිතය. ඒ මඟින් නියඟ, ගංවතුර වැනි ස්වභාවික විපත් පිළිබඳව කඩිනමින් ජනතාව දැනුවත් කිරීමට සිදු කරයි. ගංවතුරට යටවන ප්‍රදේශ  හදුනාගනිමින් ඒවා සිතියම්ගත කිරීම මඟින් ආපදා තත්ත්වයන් සඳහා පෙර සුදානම් වීම සිදු කරයි.

අදාළ  දිස්ත්‍රික්ක නවයේ (09) අවදානමට ලක්ව ඇති ජනතාවගෙන් 70%ක් පමණ මෙම ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ජීවත් වේ. වෙනත් ලෙසකින් පවසන්නේ නම් මිලියන දෙකක ජනතාව මෙම ව්‍යාපෘතිය ඔස්සේ ප්‍රතිලාභ නෙලා ගනිති. එයින් ද මිලියනයක පමණ කාන්තාවන්  කෘෂිකාර්මික හා ජලකළමනාකරණ උපදෙස් වලින් වක්‍රව ප්‍රතිලාභ ලබති.

එල්ලංගා ව්‍යාපෘතිය මඟින් 2,400ක ග්‍රාමීව වැව් ප්‍රතිසංස්කරණය වීමත් සමඟම පූදින රන් ගොයමින්  ඉන්දියන් සාගරයේ මුතු ඇටය , රන්වන් පැහැයෙන් දිදුලනු ඇත. එවිට පෙරදිග භාණ්ඩාගාරය යන විරුද නාමයෙන් ශ්‍රී ලංකාව නැවත වරක් සැරසෙනු ඇත.

 

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *