හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීමට යෝජනාවක්

Share Button

හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කරන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටියි.

හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීම සදහා පළාත් සභා වල ද අනුමැතිය ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

පළාත් සභා විසුරුවා හැර ඇති බැවින් මේ සඳහා තීරණයක් ලබා ගැනීමට පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සමග සාකච්ඡා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් ලබා දුන්නේය.

හෙද හෙදියන්ගේ නිල ඇදුම් දීමනාව රුපියල් 15000 සිට රුපියල් 18000 දක්වා වැඩි කිරීමටත් , භාණ්ඩ බාර ගැනීමේ දීමනාව රුපියල් 500 සිට 1000 දක්වා වැඩි කිරීමටත් මෙහිදී තීරණය කෙරිණි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීන් සහ සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය .

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුලු නිලධාරීන් එක්ව සිටියහ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *